තමාගෙන් පළිගැනීමේ චේතනාවෙන් යහපාලන රජය මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කළ බවත්, එවැනි දෙයක් සිදුකළ පළමු රට ශ්රී ලංකාව ලෙස ඉතිහාස ගතවී ඇති බවත්අ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසිය. එසේම මේ වන විට සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණය විනාශවී යාමට ඉඩ දී ඇති බවත් ඔහු පැවැසීය.
හිටපු ජනාධිපතිවරයා මේ අදහස් ප්රකාශ කළේ, ඊයේ (14දා) සවස වීරකැටිය පොළ භූමියේ පැවැති උත්සවයක් අමතමිනි.
"මේ රජයේ නොහැකියාව පසුගිය දවසේ ඉදිරිපත් කළ බජට් එකෙනුත් ඔප්පු කළා. අද වෙනකොට මේ රජය මහජනතාවට බදු පිට බදු ගහලා තියෙනවා. අපේ රජය කාලේ කවදාවත් මේ විදියට ජනතාව පිට බදු බර පැටෙව්වෙ නෑ. අද මහජනතාව පුදුම බයකින් ඉන්නේ හෙට එළිවෙනකොට තව මොන මොන බදු ගහයිද දන්නේ නැති නිසා. රෑ නිදාගෙන උදේ නැගිටින කොට මේ ආණ්ඩුව මොකක් හරි බද්දක් ගහනවා.
ලෙඩාගෙන් පවා බදු අයකරන රටක් වෙලා. සල්ලි හම්බ කළත් බදු ගහනවා. බැංකුවේ තැන්පත් කළත් බදු ගහනවා. බැංකුවේ දමපු සල්ලි ගන්නකොටත් බදු ගහනවා. පුදුම ආණ්ඩුවක් තමයි මේක. බලයට එනකොට කියපු ආශ්චර්යය මේක. කරනවා කියු හැබෑ වෙනස මේකද?" යැයි පවසා සිටියේය.
සූරියවැව - නුවන් ජයසේකර