පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රැස්වීම් සඳහා සෙනඟ ගෙනයාමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදාගැනීම වෙනුවෙන් ලංගමයට ගෙවිය යුතු රුපියල් කෝටි 12 ක මුදල ගෙවීමට නියම කරන්නැයි ඉල්ලමින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු හත් දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත හා අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ගේ නම් ඉවත් කරමින් සංශේධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කෙරිණි.
මෙම සංශෝධිත චෝදනා පත්‍රය බාරගත් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා මෙම සංශෝධිත චෝදනා පත්‍රය සම්බන්ධයෙන් විරෝධතා ලබන නොවැම්බර් 22 වැනිදා ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළේය.
ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පවරා තිබූ මුල් නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත, ගාමිණී සෙනරත් සහ අමල් සේනාධිලංකාර යන මහත්වරුන් නම් කොට තිබිණි.
මෙම මුල් නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කළ පෙත්සම්කාර ලංකා ගමනාගමන මණ්ඩලය මෙම නඩුවේ නව වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගාමිණී සෙනරත්, සහ අමල් සේනාධිලංකාර යන මහත්වරුන් නම් කොට ඇත.