ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දර්ශකයන් දියුණු රටවල් හා සමව හොඳ තත්ත්වයේ පවතින බවත්, සීෂෙල්ස් හි ප්‍රාථමික සෞඛ්‍ය මධයස්ථාන සංවර්ධනයට හා වෛද්‍යවරුන් සහ විශේෂඥ හෙදියන් පුහුණුවට ශ්‍රී ලංකාවේ සහාය අවශ්‍ය බවත් සීෂෙල්ස් සෙඛ්‍ය ආරක්ෂණ ඒජන්සියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සුරේෂ් මෙනන් මහතා පවසා තිබේ.
හෙතෙම මෙසේ අදහස් දක්වා ඇත්තේ, ඊයේ (14දා) සීෂෙල්ස් සෞඛ්‍ය ඇමතිනී මිට්සි ලෝරේ මහත්මිය ප්රමුඛ සීෂෙල්ස් හි ඉහළ පෙළේ සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී හමුවී සිදුකළ සාකච්ඡාවේදීය.
එමෙන්ම, අමාත්‍යවරියද තම රටෙහි සෞඛ්‍ය අංශයෙහි ක්ෂේත්‍ර ගණනාවක් දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහාය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
එහිදී, අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, දූපත් රාජ්‍යයන් දෙක අතර මෑතකදී සිදුවූ ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් වීම පිළිබඳ තම සතුට ප්‍රකාශ කරන අතරම, ශ්‍රී ලංකාවේ සහාය සීෂෙල්ස් වෙත ලබාදෙන බවයි.
මෙම දූත පිරිස ශ්‍රී ලංකාවේ රජයේ හා පෞද්ගලික අංශයේ රෝහල්වල සංචාරයක නිරත වී ඇති අතර, මෙරට සෞඛ්‍යය සේවාවන් පිළිබඳව විශේෂ ඇගයීමක් සිදුකර ඇති බව කියැවෙයි.
එමෙන්ම, ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් විශාල පිරිසක් සීෂෙල්ස් රාජ්‍යයේ සේවය කරන බවත්, එහි ජනතාවට විශිෂ්ට සේවාවක් ඔවුන් සපයන බවත් මෙම දූත පිරිස පෙන්වා දී තිබේ. එහිදී, තම රටෙහි ජීව වෛද්‍ය ඒකකය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයකින් සමන්විත බවද වෛද්‍ය මෙනන් පවසා ඇත.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්න සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න යන මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගී වූහ.