කවුරුන් කෙසේ කීවද, සියලුම පළාත් සභාවලට බලතල සියල්ලම ලබාදිය යුතු බවත්, එම කාරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස එයට සම්පූර්ණයෙන්ම සහයෝගය දිය යුතු බවත් මහාමර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා හාලිඇළ හින්නාරංගොල්ලේදී අද (15දා) පැවැති පාක්ෂික හමුවකදී සඳහන් කර සිටියේය.
එහිදී රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
"අපේ කොළඹ පළාතේ සමහර දේශපාලඥයන් බෙරිහන් දෙන්නෙ හරියට අපේ ගම්වල ඉන්න සිංහල මනුෂ්‍යයා දෙමළ අය ගැන කතා කරන්නෙම නැහැ වගේ. අපේ ගමේ ඉන්න සිංහල බෞද්ධයා තරම් දෙමළ මනුෂ්‍යයට සලකන කෝවිල ගැන බලන වෙන කෙනෙක් නැහැ. අපි අලුත් ව්‍යවස්ථාවක් හදනවා පාර්ලිමේන්තුව ඇතුළෙ. මමත් ඒ කොමිටියේ ඉන්නවා.
පත්තරවලට කියනවා සමහරු අපි කමිටුවේ ඉන්නේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න නෙවෙයි, ඒ එන සංශෝධන කඩාකප්පල් කරන්න කියලා. අපේ රටේ අලුත් ව්‍යවස්ථාවක් ඕන නැහැ, ඇත්ත. නමුත් අර මහනායක හාමුදුරුවෝ කියනවා වගේ ව්‍යවස්ථාවේ සංශෝධන ඕන. ඇයි එන ඡන්දෙදි මනාප නැති කරනවා වාගේ පාර්ලිමේන්තුවේත් මනාප ජන්ද ක්‍රමය නැති කරන්න ඕන. ඒකට ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන.
ඊළඟට දෙවියනේ දෙමළ භාෂාව කතා කරන මිනිස්සුත් මේ රටේ මිනිස්සු. ඒනිසා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පළාත් සභා ක්‍රමය ආවා. මේ පළාත් සභා ක්‍රමය හරහා ඒ එන බලතල ප්‍රමාණය අනිවාර්යයෙන්ම ඒ ඒ පළාත් සභාවලට දෙන්න ඕන. ඒ නිසා තමයි මම හැමදාම කියන්නේ කවුරු කොයිවිදියට නැටුවත්, බිරුවත් කෑගහවුවත් තප්පුලෑවත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාන සංශෝධනය යටතේ පළාත් සභාවට හිමි බලතල සියල්ල දිය යුතුමයි. ඒ කාරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි ඒකට සම්පූර්ණයෙන්ම සහයෝගය දිය යුතුයි.''