ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සියලුම පාසල් නියාමනය සඳහා වූ ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක්, එළඹෙන මාස 03 ක කාලය ඇතුළත පිහිටුවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
ඇතැම් අර්ධ පෞද්ගලික පාසල් රජයෙන් ලබාදෙන විෂය නිර්දේශයට අමතරව සිසුන් වෙත වෙනත් විෂය මාලාවක්ද ලබාදී ඒවා හැදෑරීම අනිවාර්ය කර ඇතැයි එම පාසල්වල ඇතැම් දෙමාපියන් 'අද'ට සඳහන් කළ අතර, ඒ පිළිබඳ කළ විමසීමේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.
අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ජාත්‍යන්තර පාසල් මෙන්ම අර්ධ පෞද්ගලික පාසල් වෙතින්ද එවැනි ගැටලුකාරී තත්ත්වයන් වාර්තා වීම හේතුවෙන් ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් යටතේ ඒවා නියාමනය කිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව රාජ්‍ය, අර්ධ පෞද්ගලික මෙන්ම ජාත්‍යන්තර යන සියලුම පාසල් ඒ යටතේ නියාමනය වනු ඇති බවද ඔහු කීය.
''අර්ධ පෞද්ගලික පාසල්වල ක්‍රියාත්මක වෙන්නෙත් රජයේ පාසල්වල විෂය නිර්දේශයයි. කොහොම වුණත් අර්ධ පෞද්ගලික පාසල්වලට යන්නේ දෙමවුපියෝ මේවා ගැන දැනගෙනනේ. අපි කියන්නෙ නෑනේ ඒවාට යවන්න කියලා. ඒකේ තියෙන ක්‍රමයට කැමති අයනේ ඒවාට යන්නේ. අර්ධ පෞද්ගලික පාසල්වල සමහර වෙනස්කම් තියෙනවා. අපි පොත් ටික දෙනවා, ගුරුවරු දෙනවා. අපට කොටසක් තියෙනවා. අනිත් ටික ඒ ගොල්ලෝ 'බෝර්ඩ්' එකකින් ගෙනියන්නේ.
ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවනවා තව මාස තුනකින්. ලංකාව පුරා තියෙන සියලුම රජයේ, අර්ධ පෞද්ගලික, ජාත්‍යන්තර මේ සියලුම පාසල් එතනින් නියාමනය වෙනවා. ඔය තත්ත්වයන් නිසා තමයි අපි මේ සුපරීක්ෂණ මණ්ඩලය පිහිටුවන්නේ'' යැයි අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.