ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ නිෂ්පාදන පාලනය කිරීම සම්බන්ධයෙන් වන සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති බැවින් සිගරට් පැකට්ටුව මත රූපමය අවවාද රැගත් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටින බව නීතිපතිවරයා ඊයේ (29දා) අභියාචනාධිකරණයට දැන්වීය.සමාගම සෞඛ්‍ය ඇමතිවරයා විසින් සිගරට් පැකට්ටුවල 80 % ක රූපමය අවවාද පළකිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව දැක්වූ අදහස්වලට ප්‍රතිචාර ලෙසය.
මෙම ජාත්‍යන්තර සම්මුතිය සඳහා මේ වනවිට රටවල් 160කට වඩා අත්සන් තබා ඇති බවත්, ඒ තුළින් ජනතාවට ඉහළ සෞඛ්‍ය තත්ත්වයක් ළඟාකරදීම සඳහා ප්රයත්න දරා ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
ලොව වටා වාර්ෂිකව පුද්ගලයන් ලක්ෂ 60 ක් දුම්කොළ භාවිතය නිසා මියයන බවත්, එමනිසා සෑම පුද්ගලයෙකුම මෙම දුම්කොළ භාවිතය නිසා සිදුවන අහිතකර සෞඛ්‍ය ප්‍රතිඵල පිළිබඳව දැනුවත් විය යුතු බව මෙම සම්මුතියෙන් අවධාරණය කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
පින්තූර මගින් ලබාදෙන පණිවුඩ කුඩා ළමයින් ඇතුළු සියලුදෙනාට ඉතා පහසුවෙන් ග්‍රහණය කරගත හැකි බවත්, එමනිසා සිගරට් පැකට්ටුවල පින්තූරමය අවවාද රැගත් ඉඩ ප්‍රමාණය වැඩිවීමත් සමග විශාල, ඵලදායි පණිවුඩයක් ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා මහතා මෙම අදහස් දැක්වූයේ අභියාචනාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා සහ විනිසුරු මලිනි ගුණරත්න මහත්මිය ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදීය.
සිගරට් පැකැට්ටු මත 80% රැගත් රූපමය අවවාද පළකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා රෙගුලාසියක් මගින් ගෙන ඇති තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා ලංකා දුම්කොළ සමාගම විසින් මෙම නඩුව පවරා තිබිණි.