ශ්‍රී ලංකාවෙන් සෑම වර්ෂයකදීම ලාදුරු රෝගීන් 2000 ක පමණ පිරිසක් අලුතින් හමුවන බවත්, මෙම තත්ත්වය ලෝකයේ සෙසු රටවල් හා සැසඳීමේදී විශාල අගයක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්දන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා වෛද්‍ය නිලන්ති ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.
මෙම තත්ත්වය රටේ ජනගහනයට අනුව පුද්ගලයන් ලක්ෂයකට ලාදුරු රෝගීන් 10 දෙනෙකු හමුවීමක් බවද වෛද්‍යවරිය සඳහන් කළාය.
වර්ෂයකට රෝගීන් 1000කට වඩා අලුතින් හමුවන්නේ නම් එය සැලකිය යුතු තත්ත්වයක් බවත්, ලෝකයේ එවැනි රටවල් අතර 16 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත්, එමනිසා ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන්ගේ ප්‍රමාණය අවම කිරීමට ජනතාව ඉතා දැඩි ලෙස සැලකිල්ලක් දැක්විය යුතු බවත් වෛද්‍යවරිය සඳහන් කළාය.
2013 වර්ෂයේදී ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගීන් 2,032 ක් හමුව ඇති බවත්, ඉන් ළමා රෝගීන් 177 දෙනෙක් සිටින බවත්, විකෘති තත්ත්වයන් ඇති රෝගීන් 132 දෙනෙක් සිටින බවත් වෛද්‍යවරිය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ පිහිටි දිස්ත්‍රික්ක 11 ක ලාදුරු රෝගය වැඩි වශයෙන් පවතින බවට හඳුනාගෙන ඇති බවත්, පළාත් ලෙස සැලකීමේදී බස්නාහිර, නැගෙනහිර හා දකුණු පළාත් ලාදුරු රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වන පළාත් බවට හඳුනාගෙන ඇති බවත් වෛද්‍යවරිය පවසා සිටියාය.
ලාදුරු යනු නිට්ටාවටම සුවකිරීමට හැකි රෝගයක් බවත්, වඩාත් වැදගත් වන්නේ රෝගය කල් ඇතිව හඳුනාගෙන ප්‍රතිකාර ගැනීම බවත්, මාස 06 ක් හෝ වසරක කාලයකදී නිසි පරිදි ප්‍රතිකාර ලබාගැනීමෙන් සම්පූර්ණයෙන් රෝගය සුවකරගත හැකි බවත් නිලන්ති ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය. විශේෂයෙන් ලාදුරු බවට සැකසහිත ස්ථානයක් සිරුරේ පවතී නම් රජයේ ඕනෑම රෝහලකට ගොස් එම තත්ත්වය නොමිලේ පරීක්ෂා කරගත හැකි බවත්, විශේෂයෙන් ජනතාව ඉතා සැලකිල්ලෙන් කටයුතු කරන්නේ නම් රටේ ලාදුරු රෝගීන් අවම කරගත හැකි බවත් ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
ලෝක ලාදුරු දිනය ඊයේ (26දා) දිනයට යෙදී තිබුණු අතර, එහි ප්‍රධාන සැමරුම් උත්සවය පොළොන්නරුව මහ රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
පොළොන්නරැව තුෂාර තෙන්නකෝන්