පිපිරීමට ලක් වූ කොස්ගම සාලාව යුද හමුදා ආයුධ ගබඩාව ඉදිකිරීමට තීරණය කළේ එවකට ආරක්ෂක ඇමතිවරයා වශයෙන් හිටපු ජනපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බවත් ඇය එම තීරණය ගත්තේ හමුදා නිලධාරීන්ගේ උපදෙස්වලට පටහැනිව බවත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
සිය බ්ලොග් අඩවියට ලිපියක් ලියමින් ඔහු සඳහන් කරන්නේ එම ගබඩාව ඉදිකරන විට ප්රදේශවාසීන්ගේද විරෝධතාව එල්ල වූ නමුත් හිටපු ජනපතිනිය එයද සැලකිල්ලට නොගත් බවයි.
මෙම කඳවුරේ තිබූ අවධානම සැලකිල්ලට ගෙන හිටපු ජනපති මහින්ද රාපක්ෂ මහතා කඳවුර වෙනත් ස්ථානයට නැවත ගෙන යාමට නිලධාරීන්ට උපදෙස් දුන් බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඒ වෙනුවෙන් සැලසුම්ද සකස්කර තිබූ බවත් මන්ත්රීවරයා සඳහන් කරයි.
මෙහි ඇති ආයුධ වේයන්ගොඩ, රඹෑව හා ඔයාමඩුව යන ස්ථානයන්හි ගබාඩා කිරීමට තීරණය කර තිබූ බවත් එම සැලැස්ම වත්මන් රජය විසින්ද ක්රියාවට නැංවූවනාම් බොහෝ දෙනෙකුගේ ජිවිත අවධානමකට ලක්නොකරමින් මෙම අනතුර වළක්වා ගත හැකිව තිබූ බවද මන්ත්රීවරයා සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා යුද හමුදාව විසින් පරීක්ෂණ පැවැත්විය යුතු බවත් එයින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇතිද යන්න සොයා බැලිය යුතු බවත් පෙන්වා දෙන මන්ත්රීවරයා මෙවැනි අනතුරු අනාගතයේ ඇති නොවීමට වගබලා ගත යුතු බවද සඳහන් කරයි.