අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් 96 දෙනෙකු හා අ.පො.ස. උසස් පෙළ අසමත් 112 දෙනෙකු මහජන නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවේ සිටින බව ඌව පළාත් සභා මන්ත්‍රී (ජවිපෙ) සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, ඊයේ (06දා) බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පැවැති අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමුපකාර සකසුරුවම් හා ණයදෙන සමිතියේ සාමාජික ඌව පළාත් ශාඛාවේ පවුල්වල දරුවන් වෙනුවෙන් පැවැති විශ්වවිද්‍යාල අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයකදීය.ෙ
"අද පාර්ලිමේන්තුවේ සාමාන්‍ය පෙළවත් නැති 96 දෙනෙක් ඉන්නවා. උසස් පෙළ නැති 112ක් ඉන්නවා. වරද ඔවුන්ගේද? ඔවුන් එතැනට යැවූ ජනතාවගේද? බත් පැකට්වලට, උදලුතලවලට, ටකරන් කෑලිවලට ඡන්ද දුන්නාම එහෙම අය පාර්ලිමේන්තු යනවා. ඊට පස්සේ බැණලා වැඩක් නෑ.
සාක්ෂරතාව හෙවත් අකුරු කියවීමේ හැකියාව සියයට අනූඅටක් වුණත් අප රටේ ජනතාවගේ දේශපාලනය කියවීමේ හැකියාව බින්දුවයි. හිටපු මුදල් ඇමති රවි කරුණානායක රුපියල් කෝටි ගාණක ගෙයක් කුලියට අරගෙන. ඔහු දන්නෙවත් නෑලු. ඒකෙ කුලිය දන්නෙ නෑලු. නෝනා කාගෙන් ගත්තද දන්නෙ නෑලු. ඒව මතක නෑලු. මෙහෙම අමතක වෙන්න හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. එකක්, මානසික රෝගයක් තියෙනවා නම් අමතක වීම තිබෙන්න පුළුවන්.
අනෙක තෛරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රශ්නයක් තිබේනම් එන්සයිම ක්‍රියාකාරීත්වය අවුල් වී මතකය නැතිවීම වැනි දේවල් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් අනතුරක් හෝ තදපහරක් වැනි දෙයකින් ඔළුවට හානිවුණු කෙනෙකුගේත් මතකය නැතිවෙන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ රවි කරුණානායක ෆුල්බොඩි චෙකප් එකක් කරගන්න ඕනෑ.
රවිට විතරක් නොවේ, පසුගිය දවස්වල නාමල්, බැසිල්, මහින්ද වගේ අයටත් ඔය රෝගය තිබුණා. ඒ අයත් ඒ විදිහටම පරීක්ෂා කරගන්න එක හොඳයි."
හාලිඇළ - විජේරත්න රත්නායක