පසුගිය වසරේ (2013) පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත් සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව ඊයේ (03දා) කටයුතු කළ අතර, දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිකරගැනීමට ශිෂ්‍යාවන් දෙදෙනෙකු සමත්ව තිබීම විශේෂත්වයකි.
ඒ අනුව ගම්පහ රත්නාවලී බාලික විද්‍යාලයේ කේ.ඒ. මෙනුෂිකා ජයනි කාරියවසම් සහ කොළඹ විශාකා විද්‍යාලයේ තපෝධා හරින්දි ගංගොඩවිල යන ශිෂ්‍යාවන් මෙසේ ප්‍රථම ස්ථානයට පත්ව තිබේ.
ප්‍රථම ස්ථාන
කේ.ඒ.එම්. ජයනි කාරියවසම් - රත්නාවලී බාලිකා විද්‍යාලය - ගම්පහ
"මම අධ්‍යයන චාරිකාවකට සහභාගී වෙලා ඉන්න අවස්ථාවක තමයි මට දැනගන්න ලැබුණෙ මම ලංකාවේ පළමුවැනියා වුණා කියලා. හදිස්සියේ දැනගත්තු නිසා මට විශ්වාස කරන්නත් බැරිවුණා. ජනාධිපති මන්දිරයට ඇතුළුවන මොහොතේ තමයි මම එය ස්ථිරවම දැනගත්තෙ. ඇත්තටම මට පුදුම හිතුණා. ලංකාවෙ මුල් දසදෙනා අතරට පැමිණේවි කියා විශ්වාසයක් තිබුණා. ඒත් පළමුවැනියා වේවි කියලා හිතුවෙ නෑ.
මෙය මගේ තනි ජයග්‍රහණයක් නොවෙයි. මගේ පවුලේ අම්මගේ, තාත්තගේ, මල්ලිගේ වගේම මගේ පාසලේ විදුහල්පතිතුමියගේ, ගුරු මවුපියවරුන්ගේ, සහෝදර සහෝදරියන්ගේ සියල්ලන්ගේම උත්සාහයේ ප්රථිඵලයක්. මම විභාගය වෙනුවෙන් උපරිම කැපවෙලා වැඩකළා. ඒ කාලෙ අපේ මුළු ගෙදරම හැමෝම සාමාන්‍ය පෙළ විභාගය කළා. ගෙදර විභාග පසුබිමක් නිර්මාණය වෙලා තිබුණේ. ඒ වගේම පාසලෙන් උපරිම සහයෝගයක් ලැබුණා. ඒ තුළ විභාගය පිළිබඳව පූර්ණ වැටහීමක් අපට ලබා දුන්නා.
ඒ තුළ මම විභාගයට ගියේ සෑම අතින්ම සන්නද්ධවයි. ඒ වගේම මම ප්‍රාථමික අධ්‍යාපනය ලබපු මිනුවන්ගොඩ නාලන්දා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය මට ප්‍රාථමික පංතිවලදී විශාල සහයෝගයක් ලබාදුන්නා. මගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ සියලු දෙනාටම මම මගේ ගෞරවය පුදකර සිටිනවා. මම ජීව විද්‍යා අංශයෙන් උසස්පෙළ හදාරන්න බලාපොරොත්තු වෙනවා.
හරින්දි ගංගොඩවිල - (කොළඹ විශාඛා විද්‍යාලය)
"හැමදාම පාඩම් කළා. නිශ්චිත වෙලාවක් තියාගත්තෙ නැතත්, මම හැමදාම පාඩම් කළා. එදිනෙදා පාසලේ වැඩ කටයුතු නිවැරදිවම කළා. ඒ නිසාම මට ලංකාවෙ පළමුවැනියා වෙන්න ලැබුණා. ඊයේ (03දා) ජනාධිපති කාර්යාලයට එනකම්ම දැනගෙන හිටියෙ නැහැ මම ලංකාවෙ පළමුවැනියා කියලා. ගොඩක් සතුටු හිතුණා. මගේ පවුලේ අම්මයි, තාත්තයි, නංගියි ඉන්නෙ. අම්මා ප්‍රියන්ති අමරතුංග මොරගහහේන මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියක්, තාත්තා රංජිත් අමරතුංග පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙක්. ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරා වෛද්යවරයක වීමයි මගේ බලාපොරොත්තුව."
දෙවැනි ස්ථානය
එම්.ඩබ්ලිව්. උචිත තේජාන් ගුණසේකර - (රාහුල විද්‍යාලය - මාතර)
"මගේ අම්මයි, තාත්තයි වගේම අපේ පාසලේ විදුහල්පති විමල් දිසානායක මහතා ඇතුළු ගුරු මහත්ම මහත්මීන් මෙම ජයග්‍රහණය ලබාගන්න මට විශාල සහයෝගයක් ලබාදුන්නා. මම එදිනෙදා කරන වැඩකටයුතු ඒ ආකාරයෙන්ම සිදුකළා. වැඩ අතපසු කළේ නැහැ. උදෙන්ම නැගිට්ටා. සාමාන්‍ය විදිහට වැඩ කරලා තමයි මේ ජයග්‍රහණය ලබාගත්තෙ. ඒ සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා වෛද්‍යවරයෙකු වීමයි මගේ බලාපොරොත්තුව"
තුන්වැනි ස්ථානය
රවීන් ලසිඳු තෙන්නකෝන් - ආනන්ද විද්‍යාලය - කොළඹ
"මගේ ජයග්‍රහණය පිළිබඳව මම බොහොම සතුටු වෙනවා. මේ ජයග්‍රහණය සඳහා මට උදව් උපකාර කරපු අම්මා, තාත්තා ඇතුළු පවුලේ සියලු දෙනාවත් මම සිහිපත් කරනවා. ඒ වගේම පාසලේ මට ගුරුහරුකම් ලබාදුන් විදුහල්පතිතුමා, පංතිභාර ගුරුතුමා ඇතුළු සියලු දෙනාව මේ අවස්ථාවේ සිහිපත් කරනවා. පාසලෙන් විශිෂ්ට සහයෝගයක් මට ලබාදුන්නා.
මම නොදන්න සියලුම කරුණු ඔවුන් කියා දුන්නා. ඒ වගේම මෙම ජයග්‍රහණය ලබාගැනීමට කැපවූ සියලු දෙනාටම මම මගේ ගෞරවය පුදකර සිටිනවා. ඉදිරියේදී මේ විභාගයට මුහුණදෙන නංගිලා මල්ලිලාට කියන්න තියෙන්නෙ හොඳින් පාඩම් කරන්න. සාමාන්‍ය පෙළ අමාරු විභාගයක් නොවෙයි. ඔබේ කැපවීම විතරයි අවශ්‍ය. එදිනෙදා වැඩ එදාම සිදුකර මෙයින් ජයගන්න. ගුරුවරුන් සමඟ හොඳින් වැඩ කරන්න. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හදාරා විශේෂඥ වෛද්‍යවරයෙකු වීමයි මගේ බලාපොරොත්තුව."
සිවුවැනි ස්ථාන
රොෂාන් තරින්දි - (ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලය)
"බොහෝ කැපවීමක් සිදුකර ලබාගත් ප්‍රතිඵලයක් මෙය. ඒ පිළිබඳව බොහෝ සතුටුවෙනවා. පාසලේ ඉගෙනුම් කටයුතුවලට අමතරව චෙස් ක්‍රීඩාවට දායක වුණා. ඊට අමතරව චිත්‍ර කලාව හැදෑරුවා. මේ අතර, අධ්‍යාපනයත් සමබරව කරගෙන ගියා. මගේ පවුලේ අම්මයි, තාත්තයි, නංගිලා දෙන්නෙකුයි ඉන්නවා.
පවුලෙන් සහ පාසලෙන් මට ඉතා විශාල සහයෝගයක් ලැබුණා. ඔවුන් මට කිසි අඩුපාඩුවක් කළේ නැහැ. මට උදව් උපකාර කළ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරලා ඉංජිනේරුවරියක වීමයි බලාපොරොත්තුව."
කලිඳු වික්‍රමසිංහ - (රාජකීය විද්‍යාලය - කොළඹ)
"මෙම ප්‍රතිඵලය ලබාගැනීමට රාජකීය විද්‍යාලයෙන් වගේම මගේ පවුලේ සියලු දෙනාගෙන්ම විශාල සහයෝගයක් ලැබුණා. ඒ සියලුම දෙනාට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එදිනෙදා කටයුතු නිවැරදිව කළ නිසාම මේ ප්‍රතිඵලය ලබාගන්න පුළුවන් වුණා කියලයි මම හිතන්නෙ. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා වෛද්‍යවරයෙකු වීමයි මගේ බලාපොරොත්තුව."
දිලිනි ඉඳුනිල් ෆොන්සේකා - විශාකා විද්‍යාලය - කොළඹ
"හොඳින් පාඩම් කටයුතු සිදුකළ නිසා මට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. විශේෂයෙන් මම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සියල්ලම හොඳින් කළා. ඒ සඳහා මට මගේ පාසලේ විදුහල්පතිතුමා, පංතිභාර ගුරුතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා උදවු උපකාර කළා.
ඒ වගේම මගේ පවුලේ සාමාජිකයන්ගේ විශාල සහයෝගයක් ලැබුණා. ඒ සියලුම දෙනා ඉතා ආදරයෙන් මතක් කරනවා. උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරවෙන් අධ්‍යාපනය හදාරන්නයි බලාපොරොත්තුව."
පස්වැනි ස්ථාන
කේ.ඩී.එම්. අමායා ධර්මසිරි - මලියදේව බාලිකා විද්‍යාලය - කුරුණෑගල
"මම පාසලේ වැඩ කටයුතු සාමාන්‍ය විදියට සිදුකළා. ඒ සඳහා මගේ නිවසින් සහ පාසලෙන් විශාල සහයෝගයක් ලැබුණා. පාසලේ විදුහල්පතිනිය, ආචාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාටම සහ උදව් උපකාර කළ සියලුම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා වෛද්‍යවරියක් වීමයි මගේ බලාපොරොත්තුව"
අාර්.එම්. සෞම්‍යා කුමාරිහාමි අබේරත්න- මහනුවර මහාමායා බාලිකා විදුහල
ඡායාරූප ශමීර රාජපක්ෂ