ගංවතුර සහනාධාර ලෙස ලැබුණු ප්ලාස්ටික් වතුර බෝතල් සෞඛ්‍යයට දැඩි තර්ජනයක් විය හැකි බැවින් ඒවා ඉවත්කිරීමට වහාම පියවර ගත යුතුයැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි මහතා සඳහන් කළේය.
ගංවතුර පැවැති ප්‍රදේශයන්හි ඇළ, දොළ, ගංගා, මාර්ග දෙපස හා විවෘත පරිසරයේ කුණු කසළ එකතු වී ඇති සෑම ස්ථානයකමත් ප්ලාස්ටික් බෝතල් විශාල ලෙස දක්නට ලැබෙන බවත් මේ හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ දැඩි තර්ජනයක් පවතින බව වසංගත රෝග විද්‍යාඥ වෛද්‍යවරයා පැවසීය
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වෙනුර සිංගාරච්චි මහතා,
“ගංවතුර ආධාර අතර වැඩිපුරම තිබුණේ ප්ලාස්ටික් වතුර බෝතල්. ගංවතුරින් පීඩාවට පත්වූ අය මේවා භාවිත කරලා අවිධිමත්ව ඉවත දමා තිබෙනවා. ඒ බෝතල් එකතු කර නිසිලෙස බැහැර කිරීම වහාම සිදුකළ යුතුයි. ආපදාවට ලක්වූ ජනතාව මේ දිනවල වැඩි අවධානයක් යොමු කරන්නේ තමන්ගේ නිවාස පිරිසුදු කරගැනීම් වැනි කාරණාවලටයි. පරිසරය පිරිසුදු කරගැනීම ගැන අවධානය අඩුයි.
ත්‍රිවිධ හමුදාව හා රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා ආපදා සහනසේවා කටයුතුවල නිරතවී සිටින නිසා ඩෙංගු මර්දන ව්‍යාපෘති මඳකට නතර කරන්න සිදුවුණා. ඉදිරි සතියේදී අපි නැවත මේ ව්‍යාපෘති ආරම්භ කරනවා. එතෙක් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා තැන තැන දමා ඇති ප්ලාස්ටික් වතුර බෝතල් නොතෙමෙන ස්ථානයක තබන්න කියා.
මෙම ප්ලාස්ටික් බෝතල් සහ භාජන එකතු කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් පළාත් පාලන ආයතනවල සහ පොලීසියේ සහයෝගයෙන් වැඩසටහනක් සකස් කර තිබෙනවා. ඒ පැමිණෙන කණ්ඩායම්වලට මේවා ලබාදෙන්න කියා මා ඉල්ලා සිටිනවා.” යනුවෙන් සඳහන් කර සිටියේය.