සයුර නෞකාව පාවෙන ආපන ශාලාවක් වශයෙන් වැඩිදියුණු කර මහජනතාවට විනෝද වීමට අවස්ථාවන් සලසා දීම සඳහා යොදාගැනීම අද (26දා) පස්වරුවේ දික්ඕවිට වරායේදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් සිදුවිය.
මේ අනුව 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට සාගර චාරිකාවක නිරතවෙමින් විනෝද වීමට අවශ්‍ය පහසුකම් මෙහිදී සැපයෙන අතර උපන්දින සාද, විවාහ සැමරුම් උත්සව මෙන්ම ආයතනවල පැවැත්වෙන විනෝද සංචාර ආදිය සඳහා මෙම නෞකාව මගින් විනෝද වීමට අවස්ථා ලබාගත හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේය.
එමෙන්ම පොදු ජනතාවට ඉතා පහසු මිලකට මෙම නෞකාව වෙන්කරවා ගැනීමට අවස්ථාව සලසන බවත් අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ යටතේ මෙවැනි ක්‍රියාමාර්ග තුළින් රජයට බරක් නොවී එම ආයතන පවත්වාගෙන යෑමට හොඳ නිදර්ශනයක් ලෙස සයුර නෞකාව හඳුන්වා දිය හැකි බව අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
මෙම අවස්ථාවට එම සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.