සමාජයේ ප්‍රජාවගේ පිරිහීම සහ පසුබෑම යන සියල්ල වළක්වාගැනීම සඳහා හොදම මඟපෙන්වීම වන්නේ ආධ්‍යාත්මික ගුණවගාව බවත්, එය බෞද්ධ දර්ශනයේ ඇතුළත් වීම නිසාම ථේරවාදී බුදු දහම පිළිබඳ ඇතිවන අදහස දවසින් දවස වැඩිවී ඇති බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශකළේය.
අස්ගිරි පාර්ශ්වයේ අභිනව මහනායක හිමියන්ට සහ අභිනව අනුනායක හිමියන්ට සන්නස් පත්‍ර ප්රදානය කිරීම වෙනුවෙන් අද (17දා) මහනුවර දළදා මාලිගාවේ මගුල් මඩුවේදී පැවති රාජ්‍ය උත්සවයේදී ජනාධිපතිවරයා මේබව පැවසීය.
වසර දහස් ගණනක ශ්‍රේෂ්ඨ ඉතිහාසය තුළ බෞද්ධ දර්ශනය සෑමවිටම යහපත් සමාජයක් ගොඩනැගීමට මූලික අඩිතාලම වූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙරට සමාජ ඉතිහාසය තුළ සෑමවිටම රාජ්‍ය පාලනයේදී රජවරුන්ගේ සිට පාලකයන් දක්වාත්, ජනතාවටත් මඟපෙන්වූයේ භික්ෂූන්වහන්සේලා බවත්, බුදුදහම ප්‍රචලිත කිරීම පමණක් නොව මාතෘභූමියේ ගෞරවය සුරැකීමට භික්ෂූන්වහන්සේලා අරගලවලදීද කැපකිරීම් සිදුකර ඇතිබවත් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.
මහාවිහාරවංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ විසි දෙවැනි මහනායක හිමියන් ලෙස පූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤාන්නද ඤාණරතන මහනායක හිමියන්ට සහ එම පාර්ශ්වයේ තිස්තුන්වැනි අනුනායක හිමියන් ලෙස පූජ්‍ය ආණමඩුවේ සද්ධර්මකීර්තී ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත ධම්මදස්සි හිමියන් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සන්නස්පත්‍ර ප්රදානය කෙරිණි.
මෙම අවස්ථාවට මල්වතු පාර්ශ්වය නියෝජනය කරමින් එහි අනුනායක දිවුල්කුඹුරේ විමලධම්ම හිමියන් ඇතුළු මල්වතු පාර්ශ්වීය සංඝරත්නය, රාමඤ්ඤ නිකායේ මහනායක පූජ්‍ය නාපානේපේමසිරි හිමියන් ප්රමුඛ මහා සංඝරත්නයද,අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.