කළුතර බන්ධනාගාර බස්රථයට වෙඩි තබා ‘සමයං’ ඇතුළු රැඳවියන් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සිද්ධියට අදාළ තවත් සැකකරුවෙකු මල්වතුහිරිපිටිය පොලිස්වසමේ කිනිගම ප්රදේශයේදී ඊයේ (26දා) අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
සැකකරු බුත්පිටිය ප්රදේශයේ පදිංචි එදිරිසූරිය ආරච්චිලාගේ චමින්ද සඳමාල් එදිරිසූරිය (අවු.38) නමැත්තෙකි.
මොහු මීට පෙරද කඩුවෙල මහේස්ත්රාත් අධිකරණ භූමියේදී සමයං ඝාතනය කිරීමට තැත් කිරීම, 2001 වසරේ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම හා 2003 වර්ෂයේදී වෑන් රථයක් සොරකම් කිරීම වැනි විවිධ අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ පුද්ගලයෙකු බව එම කොට්ඨාසය සඳහන් කරයි.
මෙසේ අත්අඩංගුවට පත් සැකකරු අද (27දා) කළුතර උතුර පොලිස් ස්ථානයට භාර දීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.