අනුරාධපුර යුගයට අයත් ප්‍රතිසංස්කරණය කරන ලද තිස්සමහාරාම සඳගිරි මහ සෑය ජනවාරි මාසයේ විවෘත කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා අදට පැවසීය. ඒ අනුව ජනවාරි 30 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, ඉතිහාසය සහ වාස්තු විද්‍යා ක්ෂේත්‍ර සඳහා වැදගත්කමක් දක්වන ස්ථූපයක් වන සඳගිරි සෑය විවෘත කිරීමට නියමිතය.
මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ක්‍රියාත්මක කරන තිස්සමහාරාම සඳගිරි ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස මෙම ස්ථූපය සංරක්ෂණය කරන ලද අතර, පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බොහෝ දෑ මෙහිදී සොයාගැනීමට හැකි වූ බව ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
සඳගිරිය තුළ පුරාණ විහාරාරාම සංකීර්ණයක්, පිළිම ගෙය, කෝෂ්ටාගාර හා වෙනත් බෞද්ධාගමික ගොඩනැගිලි රැසක් ඉදිකර තිබූ බවත්, මෙහිදී සොයාගත් අනුරාධපුර යුගයට අයිති බුද්ධ ප්‍රතිමා, අවලෝතිකේෂ්වර ප්‍රතිමා කොටස්, මැටි වළං කැබලි ආදිය ස්ථූපය විවෘත කරන දිනයේ මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන බවත් අධ්යක්ෂවරයා පවසා සිටියේය.
දක්ෂිණ සංචාරක ව්‍යාපෘතියේ අංගයක් ලෙස මෙය ක්‍රියාත්මක කරන අතර, තවදුරටත් මෙවැනි ස්ථාන මහජනතාවට විවෘත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.