නව ව්‍යවස්ථා සංශෝධනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන තීන්දු තීරණවලට එකඟවන පරිදි සංශෝධනය කර අප්‍රේල් 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් එය අප්‍රේල් 10 වැනිදා සම්මත කර ගැනීමටත්, ජාතික විධායක සභාව ඊයේ (02දා) එකඟතාවකට පැමිණි බව ජාතික විධායක සභාව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මීට අමතරව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වීම වැළැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් ගෙන යන කූට ව්‍යාපාරය තමන්ගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත්, මේ නිසා එය සම්මත කර ගැනීමට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් පූර්ණ සහය ලබා දෙන බවටත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක සභාවේදී පොරොන්දු වු බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මීට අමතරව තොරතුරු දැනගැනීමේ පනත අප්‍රේල් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, මනාප ඡන්ද ක්‍රමය අහෝසි කර නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට කොමිෂමක් පත් කිරීමටත් තීරණයක් ගත් බවද පවසා සිටියේය.
ඊයේ (02දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ පක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් තම පක්ෂය බලාපොරොත්තු වූ තරම් සංශෝධනයක් සිදු නොවුනත් යම් තරමකින් හෝ ජනතා හිතවාදී ක්‍රියාවන් මේ තුළ ඇතුළත් වී තිබෙන නිසා මෙම අවස්ථාවේදී සම්මත කරගත යුතු බවත්ය.
මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන විධායක බලතල අඩු කිරීමේදී එහි සම්පූර්ණ වාසිය කිසිවෙකුටත් හිමි නොවන බවත්, මේ අනුව අග්‍රාමාත්‍යවරයාට බලතල ප්‍රමාණයකුත් ස්වාධීන කොමිෂන් සභාවලට බලතල ප්‍රමාණයකුත් කැබිනට් මණ්ඩලයට බලතල ප්‍රමාණයකුත් සහ වර්තමාන ජනාධිපතිධුර කාලය අවසන් වන තුරු මෛත්‍රීපාල සිරිසේන මහතාට බලතල ප්‍රමාණයකුත් හිමිවන බවද පවසා සිටියේය.
අගමැතිවරයාට හෝ කැබිනට් මණ්ඩලයට හිමිවන බලතල භුක්ති විඳීමට වර්තමාන අගමැතිවරයාට හෝ කැබිනට් මණ්ඩලයට අවස්ථාවක් නොමැති බවත්, එම බලතල භාවිත කළ හැකිවන්නේ ඉදිරියේදී පත්වන අගමැතිවරයෙකුට සහ කැබිනට් මණ්ඩලයකට බවද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මේ නිසා 19 වන ව්‍යවස්ථා සංශෝධනය අප්‍රේල් 10 වැනිදා සම්මත වන නිසා පොරොන්දු වූ ආකාරයට අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම පවසා සිටියේය.
මෙම සියලුම කටයුතු සිදු කර ගනීමට ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වන බවත්, මේ නිසා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සියලුම කාර්යයන් සිදු කිරීමට වගබලා ගත යුතු බවද පක්ෂ නායකවරයා සඳහන් කළේය.
ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව කටයුතු කළහොත් එම පිරිස්වලට එරෙහිව ජනතාව පෙළ ගස්වන බවද හෙතෙම පවසා සිටියේය.