ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා තෝරාගැනීම සඳහා වන නිලවරණය අද (15දා) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇතැයිශ්රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් අමල් රන්දෙණිය මහතා පැවසීය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 24 වැනි සභාපතිවරයා තෝරාගැනීම සඳහා අද (15දා)උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 77කදී පැවැත්වෙන මෙම නිලවරණයේ ඡන්දය ලබාදීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකත්වය ලබා ඇති නීතිඥවරුන් 14,000 ක් සුදුසුකම් ලබා ඇතැයි අමල් රන්දෙණිය මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම මැතිවරණයේ තේරීම් භාර නිලධාරීවරයා වශයෙන් සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුහද ගම්ලත් මහතා කටයුතු කරන අතර,ප්‍රාදේශීය තේරීම් භාර නිලධාරීන් වශයෙන් දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් හා මහෙස්ත්‍රාත්වරු කටයුතු කරති.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 24 වැනි සභාපතිවරයා ලෙස පත්වීම සඳහා නීතිඥ අනුර මැද්දේගොඩ, නීතිඥ උදය රොහාන් ද සිල්වා සහ ආර්.ආර්.එස්. තංගරාජා යන මහත්වරු තරග වදිති.
මෙම නිලවරණයේ ප්‍රතිඵල අද (15දා)දිනය තුළදීම ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් අමල් රන්දෙණිය මහතා වැඩිදුරටත් පැවසීය.