ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරිපාලනය, කළමනාකරණය, සංවිධාන ව්‍යූහය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක විය යුත්තේ පක්ෂ මූලස්ථානය හරහා මිස ඉන් පරිබාහිරව නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (22දා) ප්‍රකාශ කළේය.
කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ වැඩමුළුවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පක්ෂයේ මූලස්ථානය සමග සබඳතා ඇති කරගෙන එය සමග ගනුදෙනු කරන අයට පමණක් පක්ෂය හඳුනා ගැනීමට අවස්ථාව තිබෙන බවත්, එසේ නොවන අයට පක්ෂය තේරුම් ගැනීමට නොහැකි බවත්ය.
ශ්රීලනිපය තුළ කටයුතු කිරීමේදී හික්මීමක් සහ විනයක් තිබිය යුතු බව පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ ඉදිරි පැවැත්ම සඳහා සාධාරණ නිදහස් අදහස් හා විවේචන වැදගත් වන බව කියා සිටියේය.
ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ ආණ්ඩුවක් බිහිකර ගැනීම සඳහා ආසන සංවිධායකවරුන්ට සහ තරුණ පෙරමුණේ නියෝජිතයන්ට විශේෂ වගකීමක් පැවරෙන බවත්, අලුත් ඡන්ද දිනාගැනීම සඳහා එම නියෝජිතයන් කැපවිය යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මේ අතර, මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ 2010 වසරේදී අලුතෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ නවක මන්ත්‍රීවරුන් 127 දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිටියද ඔවුන් සියලුදෙනා එකවර පක්ෂ මූලස්ථානයට කැඳවා ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් මේ දක්වා ක්‍රියාත්මක නොවුණු බවයි.
එකවර එම මන්ත්‍රී පිරිස පක්ෂ මූලස්ථානයට ගෙන්වා ගැනීමට තමන් ගත් උත්සාහයන් අසාර්ථක වූ බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, පාර්ලිමේන්තු විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා, ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත, තරුණ පෙරමුණේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ඇතුළු මැති ඇමතිවරුන්, තරුණ පෙරමුණේ නියෝජිතයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.