එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීමට මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයෙන් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් කොන්දේසි විරහිතව ඒ සඳහා සහාය පළකිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(15දා)පැවැති මෙම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් එක්වූ පක්ෂ නායකයන් දැඩිව අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමති ධුර හා ආණ්ඩුවේ අනෙකුත් තනතුරු අත්හැරීම, කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම යන යෝජනාවලට එකඟවිය යුතු බවයි.
එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවුවහොත් දැනට සිදුවන රාජ්‍ය සම්පත් විකිණීම, ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනඒම වැනි රටට අහිතකර කරුණු සිදුවිය හැකි බවත්, එය වළක්වාගැනීම සඳහා ශ්රීලනිපය සමග එක්වීමේ ගැටලුවක් නැති බවත් මෙමඅවස්ථාවට රැස්වූ පක්ෂ නායකයන් විසින් පෙන්වා දීතිබේ.
මේ අතර ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේම්ජයන්ත,එස්.බී.දිසානායක,බන්දුල ගුණවර්ධන,බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් පෙරේදා (14දා) සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර, එහිදී මේ සඳහා එකඟතාවකට එළඹ ඇතැයිද වාර්තා වේ.
ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම සාකච්ඡාවේ තොරතුරු ඉදිරිපත් කර තිබිණි.
මෛත්‍රී පාර්ශ්වය සහ මහින්ද පාර්ශ්වය එක්කිරීම සඳහා දැඩි වෙහෙසක් ගෙන තිබුණේ ජෝන් සෙනෙවිරත්න හා සුසිල් ප්‍රේම්ජයන්ත යන ඇමතිවරුය.