ශ්‍රී ලාංකිකයන් 153 දෙනෙකු රැගෙන ක්‍රිස්මස් දූපත කරා ගමන් කරමින් තිබූ බෝට්ටුවක් සමග අදහස් හුවමාරු කර ගනිමින් සිටි නමුත් සෙනසුරාදා උදෑසන පටන් එම සබඳතා ඇනහිට ඇති බව සරණාගතයන් පිළිබඳ ඔස්ට්‍රේලියානු ක්‍රියාකාරී සංවිධානයේ සම්බන්ධීකාරක ඉයන් රින්ටෝල් බී.බී.සී.ය වෙත පවස තිබේ.
බී.බී.සී.ය එසේ කීවත්, ඔස්ට්‍රේලියාවේ ද සන්ඩේ මෝනිං හෙරල්ඩ් වෙබ් අඩවිය එරට ආගමන පිළිබඳ අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා උපුටා දක්වමින් පවසන්නේ එවැනි බෝට්ටුවක් සාගරයේ ඇති බවට හෝ එවැනි සිදුවීමක් පිළිබඳව මෙතෙක් ඔස්ට්‍රේලියානු රජයට තොරතුරු ලැබී නොමැති බවයි.
කෙසේ වෙතත්, ඉයන් රින්ටෝල් පෙන්වා දෙන්නේ බෝට්ටුවේ ඉන්ධන අවසන් වෙමින් පවතින හෙයින් අවදානම් තත්ත්වයක පැවති බව හා බෝට්ටුවේ සිටින සියලු දෙනාම ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් බවය.
“බෝට්ටුවේ 153 දෙනෙක් ඉන්නවා. ඔවුන් අතර ළමයිනුත් ඉන්නවා. ඔවුන් පවසන්නේ ඔස්ට්‍රේලියානු රැකවරණ පතා පැමිණි බවයි” හෙතෙම පවසා තිබේ.
එමෙන්ම මෙම සරණාගතයන්ට ඔස්ට්‍රේලියාව දැන් අනුගමනය කරන පිළිවෙත ගැන අවබෝධයක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.
“දේශපාලන රැකවරණ පතා එන සියලු දෙනාම ඔස්ට්‍රේලියානු රජය ආපසු හරවල යවනවා. මුලින්ම සිදු වන්නේ ‘නවුරු’ දූපත්වලට හෝ වෙනත් දූපතකට යැවීමයි. ඉන් අනතුරුව ඔවුන්ගේ ඉල්ලීම් සලකා බැලෙනවා. නමුත් මේ බෝට්ටුවේ විශාල පිරිසක් සිටින නිසා ක්‍රිස්මස් දූපතට යවාවි” ඉයන් රින්ටෝල් අනුමාන කරන බව බී.බී.සී.ය පවසයි.
මීට අමතරව, මෙම සරණාගත කණ්ඩායම ඔවුන් ගමන් ආරම්භ කළ ඉන්දියාවට හෝ ශ්‍රී ලංකාවට ආපසු හරවා යැවීමටද ඔස්ට්‍රේලියානු රජය කටයුතු කළ හැකි බව ඔහු අවසාන වශයෙන් පෙන්වා දී තිබේ.