ලෝකයට මෙතෙක් හඳුන්වා නොදුන් නව මාළු විශේෂ හතරක් සමග ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් විශේෂ 93 ක් සිටින බව තහවුරු කරගෙන තිබේ.
ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය මගින් වසර හතක කාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණයකදී මේ බව සොයාගෙන ඇති අතර, ඉන් විශේෂ 54 ක් ශ්‍රී ලංකාවට ආවේණික මසුන් බවත්, මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වඳවී ගියා සේ සැලකූ මසුන් විශේෂ තුනක් තවමත් මෙරට දක්නට ලැබෙන බවත් එහිදී තහවුරු කරගෙන තිබේ.
ඔවුන් සිදුකළ මේ පර්යේෂණය මෙතෙක් මෙරට එක් සත්ත්ව කොට්ඨාසයක් සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝතම පර්යේෂණයයි. 2007 වර්ෂයේදී පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය හා එක්ව ගාලු හා මාතර දිස්ත්‍රික්කවල ජෛව විවිධත්වය අධ්‍යයනය කිරීමේ ව්‍යාපෘතියකින් ආරම්භ වූ මෙම සමීක්ෂණය අවසන් කර ඇත්තේ 2014 වර්ෂයේ අවසානයේදීය.
කෙසේවෙතත් ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසන්නේ ශ්‍රී ලංකාවේ සිටිතැයි විශ්වාසයක් ඇති මාටින්ස්ටයිනිගේ වැලිගොව්වා නැමැති මත්ස්‍ය විශේෂය හමුනොවූ බවයි. අත්වැල්තොටින් හමු වූ සත්ත්ව නිදර්ශකයක් උපයෝගී කරගනිමින් මේ මාළුවා සත්ත්ව ලෝකයට හඳුන්වා දී ඇත්තේ 1998 වර්ෂයේදීය. එම නිදර්ශකය හැර එම විශේෂයෙන් වෙනත් කිසිදු මත්ස්‍යයකු මෙතෙක් හමුවී නැත. මේ මාළුවා වඳවී අතැයි සැකයක් පැවතියද ඒ බව ස්ථිරව කීමට තවමත් මාළුවා සොයාගත නොහැකිව ගතවූ කාලය ප්‍රමාණවත් නැතැයි ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි.
ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්,
“‘‘අපි මේ සමීක්ෂණය දීප ව්‍යාප්තව සෑම පරිසර පද්ධතියකම සිදුකළා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මාළු මුල්වරට හඳුනාගත් ස්ථානවල සොයාබැලුවා. ඒ ඇතැම් ස්ථානවල ඒ මාළු දැන් දක්නට නැහැ. පරිසරයේ වෙනස්වීම් නිසා ඔවුන් වඳවී ගිහින්.
එවැනි මසුන් වෙනත් ස්ථානවලින් හමුවුණා. අකුරැස්සේ විල්පිට ප්‍රදේශයෙන් හමුවූ විල්පිට දණ්ඩියා දැන් ඒ ප්‍රදේශයේ දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම ජෝන් ක්ලාසිගේ ඇහිරාවා එම ස්ථානයේ දක්නට ලැබෙන්නේ නැහැ. ලේ තිත්තයා සොයාගත්තේ ගම්පහ අඹන්ගමුවේදීයි. ඒ මාළුවා දැන් ගම්පහ අඹන්ගමුවෙන් වාර්තාවන්නේ නැහැ. මෙරට කීර්තිමත් විද්‍යාඥෙයකු වූ ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා විසින් තබ්බෝව වනාන්තරයෙන් හඳුන්වාදුන් ගඩයා දැන් ඒ වනාන්තරයෙන් සොයාගත නොහැකියි. වඳවී ගියායැයි සැක කැරුණු මත්ස්‍ය විශේෂ තුනක් නැවත සොයාගැනීමට හැකිවුණා. එක් මත්ස්‍ය විශේෂයක් හැර ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වූ මත්ස්‍ය විශේෂ 92 ක් ඡායාරූපගත කිරීමට අපට හැකි වුණා* යැයි කියා සිටියේය.
එමෙන්ම මේ වනවිට ලෝකයේ භාවිත කරන නවීනතම නාමකරණ දත්ත භාවිත කරමින් මේ සමීක්ෂණය සිදුකළ බවත්, ඇතැම් මසුන්ගේ ගණ නාමය පවා වසර කිහිපයක ඇවෑමෙන් වෙනස් වී තිබූ බැවින් අලුත් විද්‍යාත්මක නාමකරණ අනුව ශ්‍රී ලංකාවේ සියලුම මිරිදිය මසුන් හඳුන්වා දී ඇති බවත් ඒ මහතා පවසයි.
මෙම සමීක්ෂණයේදී ශ්‍රී ලංකාවේ හමුවන විශාලතම මිරිදිය මත්ස්‍යයා වූ වලයාද සොයාගත හැකි වූ බව පර්යේෂකයෝ පවසති.
මෙකී පර්යේෂණය මගින් සොයාගත් තොරතුරු කෘතියක් ලෙසද ප්‍රකාශයට පත්කර ඇති බවත්, අදාළ මිරිදිය මසුන්ගේ වර්ණ ඡායාරූප එහි අඩංගු වන බවත් පර්යේෂණ කණ්ඩායම පවසයි. ඒ ඒ මසුන් ජීවත්වන පරිසරය, පරිසරයේ ස්වභාවය හා ඒ ඒ මසුන් සංරක්ෂණය කිරීමට වෙන වෙනම ගතයුතු ක්‍රියාමාර්ගද එහි දැක්වෙන අතර, කෘතිය මුද්‍රණය කිරීම සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසිනි.
එමෙන්ම එළඹෙන 30, 31 හා 01 යන තෙදින තුළ ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් සම්බන්ධ ඡායාරූප ප්‍රදර්ශනයක් කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි.