ශ්‍රී ලංකාව ඇතුළුව දකුණු ආසියානු කලාපය තුළ මහා පරිමාණ වශයෙන් ජාත්‍යන්තරව සිදුකෙරෙන මත්කුඩු ජාවාරමේ ප්‍රධානීන් දෙදෙනා ඇෆ්ගනිස්ථානු සික් ජාතිකයින් දෙදෙනෙක් බවට අනාවරණය කරගැනීමට ඉන්දියාවේ දිල්ලි පොලීසියේ විශේෂ විමර්ශන එකකය සමත්ව තිබේ.
ඇෆ්ගනිස්ථානු ජාවාරම්කරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ඇෆ්ගනිස්ථානයේ සිටත් අනෙක් තැනැත්තා කුවේටයේ සිටත් මෙම ජාවාරම මෙහෙයවන බවටත් තොරතුරු හෙළිවී තිබේ.
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් තිදෙනා සන්තකයේ තිබී රුපියල් කෝටි 63ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 9ක් අවස්ථා දෙකකදී සොයාගැනීමටද දිල්ලි පොලීසිය සමත්ව තිබේ.
ඔවුන්ගෙන් දීර්ඝව කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් හෙළිදරව් කර ඇත්තේ ඇෆ්ගනිස්තාන සික් ජාතිකයන් දෙදෙනෙකු මෙම මහා පරිමාණ මත්කුඩු ජාවාරම පිටුපස සිටින බවයි. 'සමියුල්ලා' නමින් හැඳින්වෙන එක් අයෙකු ඇෆ්ගනිස්තානයේ සිට මෙම ජාවාරම මෙහෙයවන බවත්, 'අලී' නමින් හැදින්වෙන අනෙක් පුද්ගලයා කුවේටයේ සිට ක්‍රියාත්මක වන බවත් රෙඩ්ඩි පවසා තිබේ.
ඇෆ්ගනිස්ථානයේ සිට පාකිස්තානයට රුගෙන එන මත්කුඩු පංජාබය හරහා ඉන්දියාවටත් පසුව දිල්ලියට රුගෙන එයි. දිල්ලියේ සිටින දෙමළ හා තෙළිඟු පුද්ගලයන් මගින් ඉන්දියාවේ දකුණුදිග ප්‍රදේශවලටත්, එයින් පසු ශ්‍රී ලංකාවටත් මත්කුඩු බෙදාහැරීමට කටයුතු කරන බව අත්අඩංගුවට පත් සැකකරුවන් දිල්ලි පොලීසිය හමුවේ අනාවරණය කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා දිල්ලිවල සිට මත්කුඩු ප්‍රවාහනයට සම්බන්ධ වන අතර,29 හැවිරිදි රෙඩ්ඩි දිල්ලි පොලීසිට පවසා ඇත්තේ මෙම මස තුළදී පමණක් ඔහුට මහා පරිමාණ මත්කුඩු පාර්සල් දෙකක් ලැබුණ බවත්, අරැන් නැමති දෙමළ ජාතිකයෙකු හා සිං යනුවෙන් හැදින්වෙන සික් ජාතිකයෙකුගෙන් ඔහුට මෙම මත්කුඩු ලැබෙන බවත්ය.
ජනවාරි මාසයේ සිට මේ දක්වා පමණක් රෙඩ්ඩි නමැත්තා විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 125 කට වැඩිය ප්‍රවාහනය කළ බව පිළිගෙන තිබේ. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම මහා පරිමාණ හෙරොයින් ජාවාරම පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකිවූ බව නවදිල්ලි විශේෂ පොලිස් ඒකකයේ නියෝජ්‍ය කොමසාරිස් සංජීව් කුමාර් යාදව් ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබෙන අතර, ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම තොරතුරු අනුව පරීක්ෂණ අඛණ්ඩව ඉදිරියට රැගෙන යන බවයි.