ශ්‍රී ලංකාව සැමවිටම සහෝදරයෙක් හා සගයෙක් බවත්, තමන් රට නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට සහාය දෙන බවත් මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයූම් මහතා පවසා සිටියේය.
රාජ්‍ය චාරිකාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින මාලදිවයින් ජනාධිපතිවරයා ප්රමුඛ දූප පිරිස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබීය.
දෙරටේ නායකයන්ගේ කතාබහෙන් පසුව දෙරටේ දූත පිරිස ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.
අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවට දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳ ජනාධිපති රාජපක්ෂ මහතා මාලදිවයින් රාජ්‍යයට ස්තූතිය පුද කළ විට, අවශ්‍ය අවස්ථාවේ එකිනෙකාට උදව් නොකරන්නේ නම් අසල්වැසියන් වීමේ ඵලය කුමක්ද යනුවෙන් මාලේ ජනාධිපතිවරයා ප්‍රශ්න කරමින්, තම රට ශ්‍රී ලංකාවට සහාය දෙන බවත් පවසා සිටියේය.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින් අතර ඓතිහාසික සබඳතා සිහිපත් කළ ජනාධිපති යමීන් මහතා, බොහෝ මාලදවයින් වැසියන්ට ශ්‍රී ලංකාව සිය දෙවැනි ගෙදර ලෙස දැනෙන බවද පැවසීය.
වර්තමානයේදී මාලදිවයින් වැසියෝ 9,000 කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවේ වෙසෙති.