අපරාධ ගැන සොයන්න හයිබ්‍ර්ඩ් අධිකරණයක්
වසර 2002 – 2011 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ රජයේ හමුදා හා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහිව ප්රබලව අපරාධ කර ඇති බවත්, එයින් විපාක ලැබූවන්ට යුක්තිය ඉටුකිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තරව වශයෙන් මිශ්‍ර වූ (හයිබ්‍රිඩ්) අධිකරණයක් පිහිටුවිය යුතු බවත් ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් සකස් කළ වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.
2014 වසරේ මාර්තු මස පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද හා මානව හිමිකම් කඩවීම් පිළිබඳව වාර්තාවක් සකස් කළ යුතු බවට යෝජනා ස්ථිර වූ අතර, එම වාර්තාව ඊයේ (16දා) ජිනීවාහිදී එළිදැක්විණ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 30 වැනි සැසිවාරයට සමගාවීම මෙම වාර්තාව එළිදැක්වීය.
මෙම වාර්තාවෙන් නීතිවිරෝධී මිනීමැරුම්, නිදහසට එරෙහි ප්රචණ්ඩත්වය, බලහත්කාරයෙන් සිදුකළ අතුරුදන් කිරීම්, වධහිංසා සහ වෙනත් ආකාරයේ කුරිරු අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්, ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් ප්රචණ්ඩත්වය, ළමයින් හමුදාවට බඳවා ගැනීම සහ ඔවුන් සටන්වලට යොදාගැනීම මෙන්ම වැඩිහිටියන් පැහැර ගෙන යෑම සහ බලහත්කාරයෙන් හමුදාවට බඳවාගැනීම, සාමාන්‍ය ජනතාවට සහ පොදු ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම, මානුෂීය ආධාර වැළැක්වීම, විවෘත නොවූ කඳවුරුවල අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයන් රැඳවීම යන ප්‍රධාන කරුණු යටතේ රජයේ හමුදා හා එල්.ටී.ටී.ඊ. සංවිධානය කළ විසින් සිදුකර ඇති යුද හා මානව අපරාධ පිළිබඳව වාර්තා කර තිබේ.
මිශ්‍ර උසාවියක් පිහිටුවීමේදී එයට ජාත්‍යන්තර විනිසුරුවරුන්, අභිචෝදකයන්, නීතිඥයන් හා පර්යේෂකයන් ඇතුළත් විය යුතු බවත්, මානව හිමිකම් මහකොමසාරිස්වරයා ජිනීවාහි පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
එහිදී අදහස් දැක්වූ මානව හිමිකම් මහකොමසාරිස්වරයා,
"අපගේ විමර්ශනවලින් ඉවක්බවක් නැතිව කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාර, නීතියෙන් පරිබාහිරව කරන ලද මිනීමැරීම්, බලහත්කාරයෙන් කරන ලද අතුරුදන් කිරීම්, වධහිංසා පැමිණවීමේ සහ ලිංගික ප්රචණ්ඩත්වය පිළිබඳ කම්පාවට පත්කෙරෙන විස්තර ඇතුළත් ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති බිහිසුණු මට්ටමේ උල්ලංඝනය කිරීම් සහ අපහරණ අපගේ වාර්තාවෙන් හෙළිකරනවා. වඩාත් වැදගත් වන්නේ සමස්තයක් වශයෙන් අන්තර්ජාතික ප්‍රජාවේ අවධානයට ලක්වන වඩාත් බරපතළ ආකාරයේ උල්ලංඝනය වීම් වාර්තාවෙන් හෙළිකිරීමයි" යැයි පැවැසීය.
සිදුවූ ගැටලු විසඳීම සඳහා යෝජනා රාශියක් එම වාර්තාවෙන් එළිදක්වා තිබෙන අතරම 2015 වසරේ ජනවාරි මස පැවැති ජනපතිවරණයෙන් පසුව ගැටලු විසඳීම සඳහා යහපත් ක්‍රියාමාර්ග රජය මගින් ගෙන තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
වාර්තාවේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා විධායක කණ්ඩායමක් පත්කිරීම හා කාලසීමාවක් තුළ එහි සඳහන් දෑ ක්‍රියාවට නැංවීම, සත්‍ය සෙවීමේ හා වගකීමේ යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවීම, ව්‍යවස්ථාදායක සභාව හරහා සුදුසු පුද්ගලයන් මානව හිමිකම් කොමිසමට පත්කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන ඉහළ මට්ටමේ විමසා බැලීමක් කිරීම, හයිබ්‍රිඩ් උසාවියක් පිහිටුවීම, වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කරගැනීමේ පනත පිළිබඳව වැඩි අවධානයක් යොමුකිරීම ඇතුළු යෝජනා 23ක් ක්‍රියාත්මක කරන ලෙස එම වාර්තාවේ සඳහන් වෙයි.
දේශිය ක්‍රියාවලියක් තුළින් මෙම ගැටලු සඳහා විසඳීමක් සෙවීමට ශ්‍රී ලංකාවේ ඇති උනන්දුව ප්‍රශංසා කරන නමුත් ශ්‍රී ලංකාවේ අපරාධ අධිකරණ පද්ධතිය ඒ සඳහා ප්‍රමාණවත් නොවන බවද මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.
මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප නොකර එය වෙනසක් ඇතිකිරීම සඳහා ඇති නිර්මාණාත්මක අවස්ථාවක් සේ දකින ලෙසද මහකොමසාරිස්වරයා පැවසීය.
වසර ගණනාවක් තිස්සේ පවතින දුක්වේදනා විසඳීමට පියවර නොගතහොත් මෙන්ම ඒවා අඛණ්ඩව පැවැතුණහොත් එම වේදනා තවත් උග්‍රවී ප්රතිසන්ධානයට බලපෑමක් වනු ඇති බවද ඔහු සඳහන් කරයි.
"ජනතාවගේ විශ්වාසය දිනාගැනීම සඳහා දේශීය අපරාධ අධිකරණ පද්ධතිය ශක්තිමත් කොට ප්‍රතිශෝධනය කළ යුතුයි. වසර ගණනාවක් ගතවන එම ක්‍රියාවලිය විශේෂ මිශ්‍ර උසාවියට සමාන්තරව ස්ථාපනය කළ යුතු අතර එය විශේෂ මිශ්‍ර උසාවිය වෙනුවට පිහිටුවීමක් නොවිය යුතුයි. එවැනි උසාවියක් ශ්‍රී ලංකාව යුක්තිය ඉටුකිරීමේ නව මාවතකට යොමුකිරීමට අවශ්‍ය ප්රතිශෝධනවලට උත්තේජනයක් වනු ඇත. ඒ සමගම මහජන විශ්වාසයද ගොඩනැගෙනු ඇත" යැයි ඔහු වැඩිදුරටත් පවසයි.
.jpg)
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

