ශ්‍රී ලංකාව චීන රජයට රුපියල් කෝටි 67,000 ක මුදලක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන පහක ණයක් පවතින අතර ඒ සියලු ණය ද්විපාර්ශ්වීය එකඟත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත ලබාදුන් ණය බව චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළ බව 'රොයිටර්' පුවත් සේවය ඊයේ (02දා) වාර්තා කළේය.
ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ චීන සංචාරයේදී, චීන රජයෙන් ලබාදුන් ණය පිළිබඳව සලකා බලන බව ප්‍රකාශ කළ අතර එයට ප්‍රතිචාරයක් වශයෙන් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය ඉහත ප්‍රකාශය කළ බව 'රොයිටර්' පුවත් සේවය වාර්තා කළේය.
ණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාද ඉදිරියේදී චීන සංචාරයක නිරතවීමට නියමිත බව එම පුවත් සේවය වාර්තා කළේය.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුආ චුයිනින්ග් මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කරන්නේ ද්විපාර්ශ්වීය අන්‍යෝන්‍ය ප්‍රයෝජනය යන මූලධර්මය යටතේ ලබාගත් මෙම ණය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට උපකාරී වනු ඇති බවයි.
'ණය සමස්ත ජාතිය හා ජනතාව වෙනුවෙන්. එය ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනයට ධනාත්මක කාර්යයක් ඉටුකළා' යැයි ඇය සඳහන් කළාය.