ගෝලීය දූෂණ සංඥාපන 2015 දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 2014 ට වඩා දූෂිතභාවයෙන් මිදෙන රටක් ලෙස ඉහළ ශ්‍රේණිගත වීමක් ලබා සිටින බව ට්‍රාන්ස්පෙයරන්සි ජාත්‍යන්තර ආයතනය පවසයි.
එම දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීමට අනුව, 2015 වසරේදී ශ්‍රී ලංකාවට 83 වැනි ස්ථානය හිමිව ඇති අතර ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 37කි. 2014 වසරේදී ශ්‍රී ලංකාව පසුවූයේ 85 වැනි ස්ථානයේය. එහිදී ලබා සිටි ලකුණු ප්‍රමාණය 38 කි.
මෙම දර්ශකයේදී මැන බලන්නේ අදාළ දර්ශකය සඳහා සලකා ලැබෙන රටවල රාජ්‍ය අංශය කෙතෙක් දුරට දූෂිත මට්ටමක පවතින්නේද යන්නයි.
2014 වසරට වඩා 2015 වසරේදී ශ්‍රී ලංකාව, ඝානාව හා ග්වතමාලාව යන රටවල් දූෂිත භාවයෙන් මිදීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කර ඇති බවද එම වාර්තාව දක්වයි.
මෙවර එම ශ්‍රේණිගත කිරීම් අතර වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා දූෂිතභාවයෙන් මිදී ඉදිරියෙන්ම පසුවන්නේ ඩෙන්මාර්කයයි. ඉන් අනතුරුව පිළිවෙළින් ෆින්ලන්තය, ස්වීඩනය, නවසීලන්තය, නෙදර්ලන්තය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, සිංගප්පූරුව, කැනඩාව හා ජර්මනිය ආදී රටවල් ඉදිරි ශ්‍රේණිගත කිරීම් 10 ට ඇතුළත සිටී.
මෙවර ශ්‍රේණිගත කිරීම් අතර අවම ලකුණු ප්‍රමාණයක් ලබා පසුපසින්ම පසුවන්නේ සෝමාලියාවයි. එමෙන්ම පිළිවෙළින් උතරු කොරියාව, ඇෆ්ගනිස්තානය, සුඩානය, දකුණු සුඩානය, ඇන්ගෝලාව, ලිබියාව, ඉරාකය, වෙනිසියුලාව ආදී රටවල්ද පහළ ශ්‍රේණිගත කිරීම් ලබා ඇත.
රටවල් 168ක් සැලකිල්ලට ගැනීමෙන් මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇති අතර, ඉන් රාජ්‍යයන් තුනෙන් දෙකක්ම 50 ට අඩු ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තිබීමද විශේෂත්වයකි.