ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී. එල්.පීරිස් අතර කරුණු ගණනාවක් ඔස්සේ සාකච්ඡා පැවැත්වී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය උපුටා දක්වමින් බී.බී.සී.ය පවසයි.
දෙරට අතර වෙළෙඳාම, ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩසටහන ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක සයීඩ් අක්බරුදීන් පවසා ඇත.
ශ්‍රී ලංකාව හයිද්‍රාබාද් ප්‍රාන්තයේ ඇ.ඩො. කෝටි සියයක ආයෝජන ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බවත් ඔහු පෙන්වා දී ඇත. එමෙන්ම, ඉන්දියාවද ශ්‍රී ලංකාවේ ඊට සමාන වටිනාකමක් ඇති ආයෝජන ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවද ඔහු පෙන්වා දී ඇත.
වගවීම් සොයා බැලීම සහ සංහිඳියාව ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාතික මට්ටමින් ගන්නා උත්සාහයන් ගැනද සාකච්ඡා කළ බව ඔහු පෙන්වා දී තිබේ.
මීට අමතරව, මානව හිමිකම් කඩවීම් පිළිබඳව සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට එවීමට සූදානමක් ඇති නිසා ඒ ගැන සාකච්ඡා කළේද යන ප්රශ්නය යොමු කළ විට අමාත්‍යංශයේ ප්‍රකාශක සයීඩ් අක්බරුදීන් පවසා ඇත්තේ ඉන්දීය ස්ථාවරයේ වෙනසක් නොමැති බවය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ආ අවස්ථාවේදී ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටි බව ඔහු සිහිපත් කර ඇත.
ජාත්‍යන්තර සංවිධාන මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අදාළ රටවල් සමග සහයෝගයෙන් ඒවා විසඳිය යුතු බවත්, දඬුවම් පැමිණවීමේ අදහසින් එම ක්‍රියාවලිය සිදු නොකළ යුතු බවත් ඔහු කියා තිබේ.
එමෙන්ම, ධීවර ප්රශ්නය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වී ඇත. එහිදී, අත්අඩංගුවට පත්වන ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමට ශ්‍රී ලංකාව කඩිනම් පියවර ගැනීම පැසසුමට ලක්වූ බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක පවසා තිබේ. ඊට අදාළ ගැටලු විසඳා ගැනීමට දෙරට දිගටම සාකච්ඡා පවත්වන බවත් ඔහු තවදුරටත් කියා ඇත.