ශ්‍රී ලංකාව අධ්‍යාපනයෙන් ප්‍රමුඛස්ථානයෙහි - යුනෙස්කෝ අධ්යක්ෂ ජනරාල්
දකුණු ආසියානු කලාපීය රටවල් අතර අධ්‍යාපන ක්ෂේත්රයෙන් ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයට පත්ව සිටීම පිළිබඳ යුනෙස්කෝ සංගමය වෙනුවෙන් තමා සතුටට පත්වන බව යුනෙස්කෝ අධ්යක්ෂ ජනරාල් ඉරිනා බොකෝවා මහත්මිය පැවසුවාය.
එමෙන් ම ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් නිරන්තර ගුරු පුහුණු අවස්ථා නිර්මාණය කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීම යටතේ ගෙන ඇති පියවර පිළිබඳවද සිය ප්‍රශංසාව පළ කළාය. මීපේ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ පැවති විශේෂ අධ්‍යාපන සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පසුගියදා එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
ඵලදායී ගුරු සංවර්ධනයක් හරහා ගුණාත්මක අධ්‍යාපනයක් යන්න තේමා කරගනිමින් මෙම අධ්‍යාපන සමුළුව සංවිධානය කර තිබුණේ ජාතික අධ්‍යාපන ආයතනයයි. සාමය සහ සහයෝගිතාව තුළින් තිරසාර සංවර්ධනයක් රටක් තුළ ඇති කිරීමේ දී අධ්‍යාපනයට විශාල කාර්යභාරයක් පැවරෙන බවත්, එහි දී සමාජය සවිබලගන්වන්නට සුවිශේෂ හැකියාව ගුරුවරුන් සතුව පවතින බවත්, මේ නිසා ගුරුවරයාට ප්‍රමුඛත්වය ලබාදීම රටක අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් කළ යුතු අත්‍යවශ්‍ය ම කාර්යය බවත් විසින් මෙහිදී අවධාරණය කළ බොකෝවා මහත්මිය කලාපීය රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළ සාක්ෂරතා මට්ටමක සහ දරුවන්ගේ පාසල් පැමිණීම අතින් ඉහළ මට්ටමේ සිටීම සම්බන්ධයෙන් ද සිය ප්‍රසාදය පළ කළා.
නිදහස්, ප්රජාතන්ත්රවාදී රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනය නගාසිටුවීම සම්බන්ධ රජය විශේෂයෙන් මැදිහත්ව සිටින බවත් ඉහළ ගුණාත්මක අධ්‍යාපනයක් රටේ සියලු දරුවන්ට ලබාදීමේ ඉලක්ක සාක්ෂාත් කරලීම වෙනුවෙන් ජාතික මට්ටමින් මැදිහත්ව සිටින බවත් මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

