ශ්‍රී ලංකාවේ ඇතුළුව රටවල් කිහිපයක සිදුවූ යුද අපරාධ පිළිබඳව වග කිව යුතු පුද්ගලියන් 135 දෙනෙකු එංගලන්තය තුළ නිදහසේ ජීවත්වෙන බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාව, රුවන්ඩාව, ඇෆ්ගනිස්තානය, ලිබියාව හා සර්බියාවේ සිදුවූ යුද අපරාධ පිළිබඳව වග කිව යුතු පුද්ගලයින් 135 දෙනෙකු මෙසේ එංගන්තයේ නිදහසේ සිටින බව එංගලන්තයේ ඩේලි මේල් ඇතුළු පුවත් සේවා කිහිපයක් වාර්තා කළේය.
එංගලන්තයේ පුරවැසිභාවය ලබාගැනීම සඳහා ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කර එය ප්‍රතික්ෂේප වූ යුද අපරාධ සඳහා සම්බන්ධ පිරිසක් මෙසේ නිදහසේ එංගන්තය තුළ ජිවත් වෙන බවත් එසේ වගකිව යුතු පුද්ගලයිලයින්ට පුරවැසිභාවය ලබාදීම ප්‍රතික්ෂේප කරනවා හැරෙන්නට එංගලන්ත ආගමන විගමන නිලධාරින් කිසිවක් කර නොමැති බවද එම වාර්තාව වල දැක්වෙයි.
පොලීසිය විසින් කරනු ලබන විමර්ශන වලින් බේරී සිටින මෙම පුද්ගලයින්ව ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසියේ විශේෂ යුද අපරාධ විමර්ශන ඒකකයට ඉදිරිපත් කිරීමට නිලධාරින් අපොහොසත්වී ඇතැයි එංගලන්ත මාධ්‍ය අණාවරණය කරයි. මේ පිළිබදව තොරතුරු වාර්තා කරන මාධය එංගලන්ත රජයට දොස් නගමින් පවසන්නේ රට අනතුරකට දමමින් යුද අපරාධ කරුවන්ට රට 'ආරක්ෂක පරාදීසියක්' කර ඇති බවයි.
මේ පිළිබඳව ප්‍රකාශයක් කරමින් එරට ස්වදේශ කටයුතු කාර්යාලය පවසන්නේ ක්‍රමවේදයේ ගැටලුවක් ඇති බවත් යුද අපරාධකරුවන් ඉක්මනින්ම තවදුරටවත් විමර්ශනය කරන බවත්ය. එසේම යුද අපරාධ පිළිබඳව වගකිවයුතු කිසියම් හෝ තොරතුරක් ඇත්නම් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කිරිමට කටයුතු කරන බවත් කාර්යාලය පවසයි.
ලොව පුරා යුද අපරාධ සඳහා වගකිවයතු පුද්ගලයන්ගේ 'විශ්‍රාමික නිවස' බවට එංගලන්තය පත්ව ඇති බවත් ඔවුන්ගේ පිහිටට ඇතැම්විට මානව හිමිකම් තිබෙන බවද එංගලන්ත මාධ්‍ය අණාවරණය කරයි.මෙවැනි යුද අපරාධකරුවන් නැවතත් ඔවුන්ගේ රටට ගියහොත් මරණ දඬුවම අනිවාර්ය බවත් තොරතුරු වාර්තා වී ඇති 135 දෙනා වසර තුනක් තුළදී එංගලන්තයේ පුරවැසිභාවය වෙනුවෙන් අයැදුම්කර ඇති බවටත් තොරතුරු අණාවරණය කරගෙන තිබේ.
2015 වසරේ 40 දෙනෙකුට, 2014 වසරේදී 50 දෙනෙකුට හා 2013 වසරේදී 45 දෙනෙකු වශයෙන් මෙසේ යුද අපරාධ සඳහා සැකකරුවන් වන 135 දෙනෙකු මෙසේ එංගල්තය තුළ නිදහසේ ජීවත් වෙති.