මෙවර ශ්‍රී පාද වන්දනා සමය අද (05දා) සිට ආරම්භ කරන බවත්, වන්දනාවේ යෙදෙන බැතිමතුන් සඳහා සියලුම පහසුකම් සලසා ඇති බවත් නුවරඑළිය දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවසීය.
මෙවර ශ්‍රී පාද වන්දනා වාරයේදී මත්පැන් හා මත්ද්‍රව්‍ය රැගෙන යෑමත්, ඒවා පාවිච්චි කොට යෑමත් සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇති බවත්, ඔවුන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
ගම්මානවලින් ශ්‍රීපාද වන්දනාවේ යෙදෙන වන්දනා නඩ හැකි සෑම අවස්ථාවකම සතියේ දිනවල පමණක් වන්දනාවේ යෙදීමට කටයුතු කරන ලෙස දිසාපතිවරයා එම වන්දනා නඩ සංවිධානය කරන පිරිස්වලින් ඉල්ලා සිටියි.
සති අන්තයේ නිවාඩු දිනවල අතිවිශාල බැතිමතුන් පිරිසක් ශ්‍රීපාද වන්දනාවේ යෙදෙන බවත්, ගම්මානවලින් පැමිණෙන වන්දනා නඩ මෙසේ සතියේ දිනවල පැමිණීමෙන් ඇතිවන අපහසුතා හා දුෂ්කරතා මගහරවා ගැනීමට හැකියාව ඇතැයිද දිසාපතිවරයා පවසා සිටියේය.
මේ වනවිට ශ්‍රීපාද මාර්ගයේ පිහිටි සියලුම ජලාශ, ඇළදොළ, ගංඟා හා වැව් ජලයෙන් පිරී පවතින බැවින් එවැනි ස්ථානවලට බැස දිය නෑම දැඩි ලෙස අනතුරුදායක බැවින් ඒ පිළිඳව කල්පනාකරී වන ලෙස ශ්‍රීපාද වන්දනාවේ යෙදෙන සියලුම බැතිමතුන්ගෙන් දිසාපතිවරයා ඉල්ලීමක් කර සිටියි.
ශ්‍රීපාද වන්දනාවේ යෙදෙන විට සෑමවිටම නියමිත මාර්ගයෙන්ම පමණක් යන ලෙසත්, කිසිදු විටකත් නියමිත මාර්ගයෙන් බැහැර කැලෑවට ඇතුළු නොවන ලෙසත් දිසාපතිවරයා සියලුම බැතිමතුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
මේ අතර, 2014/ 2015 සම්බුද්ධ ශ්‍රීපාද වන්දනා වාරය සමාරම්භ කරමින් සධාතුක කරඬුව හා සුමන සමන් දේව ප්‍රතිමාව වැඩම කිරීම අද (05දා) අලුයම 5.11 ට යෙදෙන සුභමොහොතින් පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ සිට අලංකාර රිය පෙරහරින් සිදුකිරීමට නියමිතය.
මෙම ඓතිහාසික පෙරහර රත්නපුර සිට පලාබද්දල හරහා මළුවට හා රත්නපුර සිට කුරුවිට, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, දෙහිඕවිට, යටියන්තොට, අඹගමුව හරහා නල්ලතන්නි මාර්ගයෙන්ද මළුවට ගමන් කිරීමට නියමිතය.
මධ්‍යම රාත්‍රියේ පෙරහර ළඟාවීමෙන් පසු සධාතුක කරඬුව හා සුමන සමන් දේව ප්‍රතිමාව තැන්පත් කිරීමෙන් මෙවර සම්බුද්ධ ශ්‍රීපාද වාරය ආරම්භ වීම උඳුවප් පොහෝදින සිට සිදුවේ. මග දෙපස සිට පෙරහරින් ආශීර්වාද ලබාගැනීමට පෙළගැසී සිටින බැතිමතුන්ගේ පූජා වට්ටි තැබීම සඳහා මෙවර නිශ්චිත ස්ථානවලදී අවස්ථාව සලසාදී තිබේ. එසේම සිරිපා වන්දනාවේ යන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් සම්බුද්ධ ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියන්ගේ අනුශාසනා පරිදි ක්‍රියාවට නංවා තිබේ. ශ්‍රීපාද වන්දනා වාරයේ නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම විසින් සපයනු ලබයි.
ශාන් හුලංනුගේ/ රත්නපුර මලිති ෙපරේරා/නිවිතිගල හසල බුද්ධික කුමාරගම