ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවගේ සේම සෙසු ආගමික බැතිමතුන්ගේත් භක්ත්‍යාදරයට පත් ශ්‍රී පාදස්ථාන පුජා භූමිය ආසන්න ප්‍රදේශයේ අක්කර 99 යි රූඩ් 3 ක ප්‍රමාණයක් පූජා නගරයක් බවට පත්කිරීමට මේ වනවිට ආණ්ඩුව සැලසුම් කරමින් තිබෙන බැවින් ශ්‍රී පාද පුදබිම සහ ශ්‍රී පාද අභය භූමිය දැඩි අනතුරකට ලක්වන බව සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කරයි.
අනුරාධපුර රාජධානි යුගයටත් පෙර සිටම ශ්‍රී ලංකාවාසීන්ගේ සේම දෙස් විදෙස් බැතිමතුන් පවා පූජනීය ස්ථානයක් ලෙස වැඳුම් පිදුම් කරන ශ්‍රී පාදස්ථානය ඇතුළුව අක්කර 12,329 ක් අභය භූමියක් ලෙස ප්‍රකාශ කළේ 1940 වසරේ ඔක්තෝබර් මස 25 වැනිදා බවද එම සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේය.
ඊයේ (29දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ රවීන්ද්‍ර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, අභය භූමියක් බවට මෙම ප්‍රදේශය පත්කිරීමත් සමග එහි වගකීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් වූ බවත්, මේ නිසා එදා පටන් එම ප්‍රදේශය වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ සහ ජාතික පාරිසරික පනතේ ඇති නීතිරීතිවලට යටත් වූ බවත්ය.
මේ අනුව මෙම ප්‍රදේශ තුළ කිසිදු ඉදිකිරීම් කටයුත්තක් සිදුකළ නොහැකි බවත්, මීට අමතරව ශාකවලට හානි කිරීම, ජලයට හානිකිරීම ආදිය සපුරා තහනම් බවත් රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසා සිටියේය.
මෙම නීති සියල්ලම උල්ලංඝනය කරමින් ශ්‍රී පාද අභය භූමියේ ඉඳිකටුපාන ප්‍රදේශයෙන් පහළ තිබෙන නල්ලතන්නිය මකර තොරණ, රතු පාලම, ජපන් විහාරය, ගඟුලතැන්න, ඉඳිකටුපාන ප්‍රදේශ සහ එම ප්‍රදේශය හරහා මළුවට ගමන්කරන මාර්ගය දෙපස මීටර් 60 ක ප්‍රමාණයක් පූජා භූමියක් බවට පත්කිරීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.
ඉන්දික හේවාවිතාරණ / ඡායාරූප - ක්‍රිශාන් රණසිංහ