වසර 20 ක් විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ආණ්ඩුව රට බාරගැනීමත් සමග අලුත් වෙනසක ආරම්භය සිදුව තිබෙන බවත්, එම වෙනස මාස කිහිපයකින් සිදු කර අවසන් කරන්නැයි යම් යම් පිරිස් සඳහන් කළද ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය කටයුතු කරනු ලබන්නේ පක්ෂය ගැන සිතා නොව සෑම විටම රට මුලට තබමින් බවයි.
රටේ ආර්ථික හා සමාජීය වෙනසක් ඇති කිරීමට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාද කටයුතු කළ බවත්, ඔහු එම වෙනස ඇති කළේ 1978 වසරේදී වුවද, වෙනසේ ප්රතිලාභ ජනතාවට ලැබුණේ 1979 වසරේදී බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය බලයට පත් වී තවමත් ගත වී තිබෙන්නේ මාස 03කට ආසන්න කාලයක් බවත්, එම කාලය තුළ රටට විශාල වැඩ කොටසක් සිදු කර තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
පසුගිය කාලය පුරාම රටේ ආර්ථිකය දිගින් දිගටම පහළ මට්ටමක පැවැති අතර, මෙම තත්ත්වයෙන් ගොඩඒම සඳහා වැඩ කටයුතු රාශියක් සිදුකිරීමට තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
එම වෙනස ඇති කිරීමේ මූලික අදියර ලෙස ග්‍රාම රාජ්‍ය 2500 ක් වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවත්, ඊට සමගාමීව රැකියා දසලක්ෂයක් ලබාදීම හා රට තුළ ඇති වී තිබෙන සාමකාමී තත්ත්වය මත රට ඉදිරියේදී විශාල ලෙස දියුණු වන බවද මහලේකම්වරයා සඳහන් කළේය.
මීට අමතරව ලබන වසර තුළ එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන රාශියක් සිදුවන බවත්, ඒ හරහා පසුගිය කාලයේදී පක්ෂය තුළ ඇති කළ තනතුරු කිහිපයක් පවා සංශෝධනය විය හැකි බවත් ඒ මහතා පවසා සිටියේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන්ගේ අයදුම්පත් කැඳවීම මේ වනවිට සිදුවන බවත්, අයදුම් පත් තෝරාගැනීම සඳහා ලබන ජනවාරි මාසයේදී කමිටු 05 ක් පත්කරන බවද කබීර් හෂීම් මහතා සඳහන් කළේය.