කෙන්යාවේ සිට ඩුබායි දක්වා ශ්‍රී ලංකාව හරහා ගෙනයමින් තිබියදී 2012 වසරේදී මෙරට රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අප්‍රිකානු ඇත්දළ යුගල් 180 විනාශකර දැමීමට ගත් තීරණයේ වෙනසක් නැතැයි තිරසාර සංවර්ධන හා වනජීවී සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
දැවැන්ත සත්ත්ව හිංසනයක් සිදු කරමින් මෙම ඇත්දළ ලබාගෙන තිබෙන බැවින් කුමන පාර්ශ්වයකින් විරෝධතා මතු වුවද, ඒවා නොසලකා හරිමින් ලෝකයේම අවධානයට ලක්වන පරිදි ජනවාරි 26 වැනිදා ගාලු මුවදොර පිටියේදී එම කටයුත්ත සිදුකරන බව වනජීවී අමාත්‍යාංශය පවසයි.
මේ පිළිබඳව කළ විමසීමකදී විෂය භාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේ පසුගිය රජය සමයේදී මෙම ඇත්දළ තොගය විනාශ කරන්නැයි දේශීය සහ ලෝක වනජිවි සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණද ඒ පිළිබඳව එම රජය සැලකිල්ලක් දකවා නොමැති බවයි.
ලෝක සම්මුතියට අනුව මෙවැනි ඇත්දළ තොගයක් රටක් තුළ තබාගත නොහැකි බවද ඒ මහතා පවසා සිටියේය.
ඇතෙකු පණපිටින් සිටියදී යන්ත්‍රානුසාරයෙන් බෙල්ල කපා ලේ සහිතව මෙම ඇත්දළ ලබාගන්නේ ඉතා ක_ර අන්දමින් බවත්, මේ පිළිබඳව ලෝක මට්ටමින් විරෝධයක් පැන නැගී තිබෙන බවත් ජයවික්‍රම පෙරේරා මහතා කියා සිටියේය.
වනජීවීන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය කැපවන බවත්, වනජීවීන්ට සිදුකරන හිංසාවලට එරෙහි වන බවට ලෝකයට පණිවුඩයක් ලබාදීමට මෙය අවස්ථාවක් බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.