බොදුබල සේනා සංවිධානයේ ආරාධනයෙන් සංඝ සමුළුවක් සඳහා මියන්මාර ජාතික අශින් විරතු හිමියන් ශ්රී ලංකාවට වැඩම කිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකා මුස්ලිම් කවුන්සලය විරෝධය පළ කර ඇති බව බී.බී.සී.ය කියයි.
ශ්රී ලංකා මුස්ලිම් කවුන්සලයේ වැඩබලන සභාපති හිල්මි මොහමඩ් බී.බී.සීයට පවසා ඇත්තේ, තම සංවිධානයේ විරෝධය ඇතුළත් ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද බවයි.
විරතු හිමියන් මියන්මාරයේ මුස්ලිම් ජන සංහාරයකට මුල් වූ තැනැත්තකු බවත්, ජාතිවාදී හැඟීම් ඉස්මතු වී පවතින මෙවැනි මොහොතක එවැනි හිමි නමක් ශ්රී ලංකාවේ සංචාරය කිරීම රට තුළ නොසංසුන් තත්ත්වයක් මතු වීමට හේතු විය හැකි බවත් හෙතෙම පෙන්වා දී ඇති බවද කියැවෙයි.
මෙහිදී, බී.බී.සී.ය වෙත අදහස් දක්වා ඇති බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසා ඇත්තේ මියන්මාර ජාතික විරතු හිමියන් කිසිදු ප්රචණ්ඩ ක්රියාවකට වරදකරු වී නැති අතර, බෞද්ධ නායකයකුගේ සංචාරයට එරෙහිව කිසිවකුට වැට බැඳිය නොහැකි බවයි.
හෙට (28දා) පැවැත්වෙන සංඝ සම්මේලනයක් සඳහා බොදුබල සේනා සංවිධානය මියන්මාරයද ඇතුළුව රටවල් කිහිපයක බෞද්ධ සංවිධානවලට ආරාධනා කළ බව සඳහන් කර ඇති ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අශින් වීරතු හිමියන් ශ්රී ලංකාවට වැඩම කළොත් මහත් ඉහළින් පිළිගනු ලබන බවද පැවසූ බව බී.බී.සී.ය කියයි.
“විරතු හාමුදුරුවෝ කිසිදු අපරාධ ක්රියාවකට වැරදිකරු වී නැහැ. කිසිවකුට උන්වහන්සේ වැනි බෞද්ධ නායකයකුට අවහිර කරන්න බැහැ. කවුරුත් මතක තබා ගත යුතුයි, මේක සිංහල බෞද්ධ රට. අපි උන්වහන්සේ ඉතාම ඉහළින් පිළිගන්නවා” ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසා තිබේ.
හිල්මි මොහොමඩ් බී.බී.සී.ය වෙත වැඩිදුරටත් පවසා ඇත්තේ, “ලංකාව බෞද්ධ රටක්. නමුත් විරතු හිමියන් වැනි කෙනෙක් බෞද්ධ නායකයෙක් කියල බෞද්ධයන්වත් පිළිගනු ඇතැයි මම හිතන්නේ නැහැ. බුදු දහම කියන්නේ කිසිදාක ප්රචණ්ඩත්වය අනුමත කරන දහමක් නොවෙයි .බුදු හාමුදුරුවෝ කවදාවත් ප්රචණ්ඩත්වය අනුමත කළේ නැහැ”
මීට පෙර අවස්ථාවක ටයිම් සඟරාව විසින් අශින් විරතු හිමියන්ට නිග්රහ දෙන ආකාරයේ කවරයේ කතාවක් සමග සිය සඟරාව පළ කර තිබුනේ, උන්වහන්සේ ‘බෞද්ධ ත්රස්තවාදියෙකු’ ලෙස හුවාදක්වමිනි.
නමුත්, උන්වහන්සේ ‘සැබෑ බුද්ධ පුත්රයකු’ හැටියට බුරුම ජනාධිපතිවරයා විසින් හඳුන්වනු ලැබ ඇති බව බී.බී.සී. බුරුම සේවයේ සෝ වින් තැන් පවසා තිබේ.