මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල හිඟයට මුහුණපා තිබෙන ප්‍රදේශවලට බවුසර් මාර්ගයෙන් ජලය බෙදාහැරීමට තීරණය කළ බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඒ.ඒ. අන්සාර් මහතා පැවසීය.
පසුගිය සති තුනක කාලය තුළදී ජල පරිභෝජනය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබූ බවත්, මේ හේතුවෙන් උස් ප්‍රදේශවලට නළ මාර්ගයෙන් ජලය නොලැබෙන බවට පැමිණිලි ලැබී ඇති බවත් කී සභාපතිවරයා, සිංහල අලුත් අවුරුදු කාලසීමාවේදී මෙම තත්ත්වය තවත් වැඩිවිය හැකි බවද සඳහන් කළේය.
විශේෂයෙන්ම මේ දිනවල කොළඹ ඇතුළු නගරබද ප්‍රදේශවල ජල පරිභෝජනයේ වර්ධනයක් දැකිය හැකි බවද හෙතෙම කීවේය.
අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව කොළඹ නගරය තුළ ජල පරිභෝජනය සියයට 10කින් වැඩි බවත්, මේ වනවිට එම තත්ත්වය සියයට 15 දක්වා වැඩිවී ඇති බවත් අන්සාර් මහතා පවසා සිටියේය.
මෙම පසුබිම තුළ ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ වළාකුළු වර්ධනය වි තිබුණද ජලාශ ආශ්රිත ප්‍රදේශවලට සැලකියුයුතු වර්ෂාපතනයක් බලාපොරොත්තු විය නොහැකි බවයි.
අන්තර් මොසම් කාළගුණික රටාව දැනට ක්‍රියාත්මක වන බැවින් අප්‍රේල් 20න් පසුව එම ප්‍රදෙශවලට වැඩිවශයෙන් වැසි ඇදවැටීමට ඉඩ තිබෙන බවත් එම දෙපාර්තුමේන්තුව පවසයි.
අද සහ හෙට දිනවලදී සවස 2.00න් පසුව දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
යාපනය අර්ධද්වීපයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ අඩු හැකිවාක් තිබෙන බවත් ගිඟුරුම් සහිත වැසි ඇතිවනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවන බවත් පවසන එම දෙපාර්තමේන්තුව අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නනැයි මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
අප්‍රේල් 05 සිට 14වැනිදා දක්වා සූර්යයා ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශවලට ඉහළින් සෘජුවම පවතින බවත් අද (12දා) දහවල් 10. 11ට පදවිය,මඩු,පරන්තන් සහ නොච්චිකුලම් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.