ආහාර ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් කටයුතුකළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර කොමසාරිස් නිශාන් ධනසිංහ මහතා සඳහන් කළේය. ඔහුගේ තත්ත්වය පිළිබඳව වෛද්‍යවරුන් පරීක්ෂා කළ බවද හෙතෙම පවසා සිටියේය.
තත්ත්වය උත්සන්න වුවහොත් වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත රජයේ රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන බවද 'අද' කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේය.
විමල් වීරවංශ මහතා කුමන රෝගී තත්ත්වයකින් පසුවනවාද යන්න තමන් නොදන්නා බවද ධනසිංහ මහතා පවසා සිටියේය.විමල් වීරවංශ මහතාව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලද්දේ ඊයේ (26දා) උදෑසන 7.00ට පමණය.
විමල් වීරවංශ මහතාගේ රුධිරයේ සීනි මට්ටම පහළ යෑම,රුධිර ගමනාගමනය දුර්වලවීම ඇතුළුව රෝගී තත්ත්වයන් හේතුවෙන් ශරීරය දුර්වල වීම නිසා වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මෙසේ බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
මීට අමතරව වීරවංශ මහතාගේ වකුගඩු සහ හෘදයවස්තුවේ දුර්වලතා ඇති වී ඇත්දැයි වෛද්‍යවරුන් විසින් පරික්ෂා කරමින් සිටින බව වාර්තා වෙයි. වීරවංශ මහතාගෙන් රුධිර සාම්පල කිහිපයක් ලබාගැනීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇතැයිද බන්ධනාගාර රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර මහතා සදහන් කළේ විමල් වීරවංශ මහතාගේ විරෝධය මත වෛද්‍යවරුන් විසින් මෙසේ රෝහල වෙත රැගෙන ගිය බවයි.
විමල් වීරංවශ මහතා බන්ධනාගාරය තුළ ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කරනු ලැබුයේ අධිකරණයට බලපෑම් කිරීමට නොව, ආණ්ඩුව අධිකරණයට එල්ලකර ඇති දේශපාලන මැදිහත්වීමට එරෙහිව බවද සමරවීර මහතා ප්‍රකාශ කළේය.
ඉන්දික හේවාවිතාරණ/අමිත් මධුරංග