පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා උපවාසයක් ආරම්භ කළේ ඇප ලබාගැනීමේ අදහසින් නොවන බවට එම පාර්ශ්වය විසින් කරුණු ඉදිරිපත් කරමින් සිටින බැවින් උපවාසය අවසන් කරනුයේ කුමන ආකාරයෙන්දැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රිවරුන් අතර සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ විරෝධය මත ආහාර නොගෙන උපවාස ආරම්භ කරමින් වීරවංශ මහතා කියා තිබුණේ, පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුට හිමි අයිතිවාසිකම් තමන්ට ලබාදෙන ලෙසයි.
යම් හෙයකින් ඊළඟ නඩුවාරයේදී ඇප ලැබුණද උපවාසය අත්නොහරින බවට වීරවංශ මහතාගේ ස්ථාවරය යැයි ඔහුගේ පාර්ශ්වය සඳහන් කරන බැවින් මෙම උපවාසය අවසන් කරන්නේ කෙසේදැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් සාකච්ඡා කර තිබේ.
දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් පසුගිය සතියේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුණගැසී තිබීම නිසා ඇප ලැබුණු සැනින් උපවාසය අවසන් කළහොත් එය ඒකාබද්ධ විපක්ෂයට අවාසිදායක ලෙස බලපානු ඇතැයිද සාකච්ඡා වී තිබේ.
මේ හේතුවෙන් වීරවංශ මහතාගේ උපවාසය අවසන් කිරීම සඳහා නව සටන් පාඨයක් සොයාගත යුතු බවට ජාතික නිදහස් පෙරමුණේ අදහස වී තිබේ.
නව අරගලයක ඇරඹුම තබමින් උපවාස අවසන් කළ යුතු බවටද ජාතික නිදහස් පෙරමුණේ අවධානය යොමුව තිබේ.
මේ පිළිබඳව දිනේෂ් ගුණවර්ධන,ඩලස් අලහප්පෙරුම, වීරකුමාර දිසානායක යන මන්ත්රීවරුන් අතර සාකච්ඡා කෙරී ඇතැයිද වාර්තා වෙයි.
මේ අතර උපවාසය අවසන් කරන්නැයි කියා වීරවංශ මහතාගෙන් ඉල්ලා සිටීමට භික්ෂුන් වහන්සේලා, විද්වතුන්,කලාකරුවන් පිරිසක් අද(30දා) කොළඹ ජාතික රෝහලට යෑමට සැලසුම් කර තිබෙන අතර අනුනායක හිමිවරුන් පිරිසක් වෙනමම එම ඉල්ලීම කිරීමට ද සැලසුම් කර ඇති බවත් වාර්තා වෙයි.