විමල් වීරවංශ මහතා සම්බන්ධව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවලදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සඳහන් කළ කරුණු පැවසිය නොහැකි බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (29දා) පැවසීය.
බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ජයපරාජය දේශපාලනික වශයෙන් තීන්දු කිරීම පෞද්ගලික වෛරයක් ලෙස නොසිතිය යුතු බවයි.
වගකීමෙන් හැසිරෙමින් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින්, දේශපාලන පක්ෂයක අයිතිවාසිකම්, විමල් වීරවංශ මහතා ආරම්භ කර ඇති උපවාසයේ යථාර්ථ තත්ත්වය, විමල් වීරවංශ මහතාගේ අයිතිවාසිකම් සම්බන්ධව සහ මන්ත්‍රීවරයෙකුට ඇති රාජකාරි කටයුතු පිළිබඳව පැහැදිලි කළ බවද හෙතෙම පවසා සිටියේය.
“උපවාසය පටන් ගත්තෙ පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් ලබානොදීම නිසයි. හඬට සවන් නොදීම නිසයි. දේශපාලනික වශයෙන් ප්‍රතිවිරුද්ධ මත දරන ජනාධිපතිතුමා, අගමැතිතුමා ගැන අපි විවේචනය කරනවා. නමුත් අයිතිවාසිකම් සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන්න හැකියාව තිබිය යුතුයි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේත් මෙවැනි සාකච්ඡා පැවැත්වුණා.
මෙය පළමු වැනි අවස්ථාව නෙවෙයි. මේක අලුත් දෙයක් නෙවෙයි. පාර්ලිමේන්තුව කියන්නෙ වෛරයන් පිරිමහන තැනක් නෙවෙයි. ජයපරාජය දේශපාලනික වශයෙන් තීන්දු කරන දේ, පෞද්ගලික වෛරය කියලා හිතන්න එපා. ඒක වැරදි මානසික තත්ත්වයක්. අපි වැඩිවේලා ගතකළේ නැහැ. පොඩි සාකච්ඡාවක් තිබුණෙ" යනුවෙන් පවසා සිටියේය.