විනය කමිටුව හමුවේ පෙනී නොසිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් හත් දෙනෙකු පිළිබඳව මධ්‍යම කාරක සභාවට වාර්තා කරන බව පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසීය.
ජනවාරි 14 වන දා කොළඹදී පළාත් පාලන ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී වෙනත් සන්ධානයකින් තරග කරන බවට ඒත්තු ගැන්වෙන පරිදි අදහස් පළ කිරීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග නොගැනීමට හේතු දක්වන ලෙස පක්ෂ මහ ලේකම්වරයා ලිපි යවා තිබිණි.
එසේ ලිපි යවා තිබුණේ, වළල්ලාවිට, අත්තනගල්ල, මහරගම, බොරලැස්ගමුව, මීරිගම, ගම්පහ, මාතලේ, මොරටුව, උකුවෙල හා දඹුල්ල යන පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන් හා නගරාධිපතිවරුන්ට ය.
ඔවුන් අතරින් මොරටුව, උකුවෙල හා දඹුල්ල පළාත් පාලන ආයතන ප්‍රධානීන් ලිඛිතව කරුණු දක්වා තිබිණි.
පෙබරවාරි මස 12 වන දා රැස් වූ පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණයට අනුව සෙසු හත් දෙනාට යළි සිහිපත් කිරීමේ ලිපි යොමු කෙරිණි.
එහි දැක්වුණේ, මාර්තු මස 29 වන දා පක්ෂ මූලස්ථානයේදී විනය පරීක්ෂණය සඳහා පෙනී සිටින ලෙස ය.
එදින සහභාගී නොවුණහොත් ඒකපාර්ශවිකව විනය පරීක්ෂණය පවත්වා මධ්‍යම කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කරන බව එම ලිපියේ දැක්විණි.