ඒකීයභාවය නැති කිරීමට හෝ විදේශීය විනිසුරුවන් සිටින අධිකරණ ඇති කිරීමට වත්මන් රජය ඉඩ ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ තමන් මීට පෙරද මේ පිළිබඳ ප්‍රකාශ කර තිබෙන බවත්, රටේ ජනතාව ලබාදුන් ජනවරමට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට රජය නිරතුරුවම කැපවන බවත් අගමැතිවරයා අවධාරණය කර සිටියේය.
මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කීය.පසුගිය ආණ්ඩුව විසින් හමුදා නිලධාරීන් සම්බන්ධව නඩු පවරන බවට ජිනීවාවලදී පොරොන්දු වී තිබෙන බවත්, ඒ පිළිබඳ විදේශ රටවලට උත්තර බැඳීමට වත්මන් රජයට සිදුව ඇති බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
“2009 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවට ශ්‍රී ලංකා රජය අනිත් රජයන් සමග එකතු වෙලා ඉදිරිපත් කරපු යෝජනාව යටතේ එකඟ වුණා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත්, හිටපු මහලේකම් බෑන් කී මූන්ගේ ඒකාබද්ධ ප්‍රකාශය අනුව ක්‍රියාකරන්න. එම ප්‍රකාශයේ තිබෙනවා මානව හිමිකම් කොමසාරිස් සඳහන් කළා කියලා මේ රටේ යුද්ධ කාලෙදී මානව හිමිකම් නීතිය ගැන විභාග කළයුතුයි කියලා.
ඒ සමගම ලංකා ආණ්ඩුව එය විභාග කිරීමට එකඟ වුණා කියලා පළමු වතාවට එහි සඳහන් වුණා. 2014 වනවිට එම සභාවේ යෝජනාව සම්මත කර තිබුණා. මේ පිළිබඳ ක්‍රියාකරලා ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ දඬුවම් කරන්න උවමනයි කියලා තිබුණා. එහෙම නැත්නම් ජාත්‍යන්තරයට පුළුවන් දඬුවම් කරන්න. කොයි නීතිය යටතේද ක්‍රියාත්මක කළේ කියලා මෙතන සඳහන් කළේ නෑ.
අපි කිසි විටෙක රටේ ඒකීයභාවය නැති කරන්නවත්, ස්වාධිපත්‍යය නැති කරන්නවත්, විදේශ නඩුකාරයෝ ගෙනල්ලා අපේ උසාවියේ නඩු අහන්නවත් කිසි විටෙක එකඟවෙලා නෑ. එහෙම යෝජනාවකට අපි සහාය දීලත් නෑ, හවුල් වෙලත් නෑ.2015 ජනවාරි මාසයේ සිට මානව හිමිකම් පිළිපදින්නත්, ප්රජාතන්ත්රවාදී ආයතන ශක්තිමත් කරන්න ගත්ත පියවර ගැනත් 2015 වාර්තාව මගින් ප්‍රකාශ කළා.
එහි තුන්වැනි යෝජනාව මගින් ලංකා ආණ්ඩුව දූෂණය, අල්ලස්, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම ගැන විභාග කිරීම ගැන අපට ප්‍රශංසා කළා. ඒ ගැන සභාවේ සමහරුන්ට ප්‍රශ්නයක් තියෙනවා. 2015 පෙබරවාරි 04 වැනිදා සාමය පිළිබඳ රජය කරපු ප්‍රකාශය ගැන ප්‍රශංසා කළා. අතීතයේ නීතිය උල්ලංඝනය කිරීම ගැන විභාග කරන අය ස්වාධීන විය යුතු බවත්, එහි ප්‍රධානත්වය දරන වෘත්තියේ උසස්ම තලවල සිට අපක්ෂපාතීභාවය පිළිබඳ ප්‍රසිද්ධියක් තිබෙන අය වියයුතු බවත් එහි සඳහන් වෙනවා.
එම කරුණ අපට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ විභාග කරන්න උවමනා බවත් එම වාර්තාව කිව්වා. කිසිවිටෙක විදේශ නඩුකාරවරු පත්කරන්න කිව්වෙ නෑ. නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට ලංකා ආණ්ඩුව අධිකරණ යාන්ත්‍රණයක් ඇති කිරීම පිළිබඳ යෝජනාව පිළිගත්තා.
2009 යෝජනා ටික මේකෙන් ඉවත් වුණා. අපි ඇති කරන අධිකරණය ව්‍යවස්ථාවට අනුව කරන්නේ. ඒ සඳහා උපදේශකවරු ඕන කියලා අපි කියලා තිබෙනවා. 2017 වාර්තාවේ කොටස් දෙකක් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවේ තමයි තියෙන්නේ ජාත්‍යන්තර උසාවියට එකතු වීම ගැනයි, විදේශ නඩුකාරයන් ඉන්න මිශ්‍ර උසාවියක් ගැනයි.
මහලේකම්තුමා දුන්නු වාර්තාවට ස්තුති කිරීමක් හැර වෙන මොකුත් කියලා නෑ. ඊළඟට 2015 යෝජනාව සම්මත කරලා ක්‍රියාත්මක කරන්න කියලා තියෙනවා. 2009 න් පසුව ගිය ආණ්ඩුවේ නියෝජිතයන් නිව්යෝර්ක් නගරයට ගිහින් නඩු දාන්න එකඟ වුණා. ඒ නඩුදාන එක යටතේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇදගෙන ගිහින් හිරේ දැම්මා. ඊටපස්සෙ ජී.එල්. පීරිස් 2014 ජිනීවා ගිහින් කිව්වා අපි මුතූර් නඩුවයි, ත්‍රිකුණාමලය නඩුවයි විභාග කරලා නඩු දානවා කියලා. එච්චරයි නඩු ගැන සඳහන් වෙන්නේ.
අපේ නියෝජිතයා කිව්වා 2015 යෝජනා දික්කිරීමට එකඟයි. ඒත් මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව අපි අධ්‍යයනය කරලා අපේ නිරීක්ෂණ පසුව දෙනවා කිව්වා.ජනාධිපතිතුමයි, මමයි ප්‍රසිද්ධියේ කියලා තියෙනවා ලංකාව කිසිවිටෙක ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එකතු වෙන්නේ නෑ කියලා. අපි කියලා තියෙනවා විදේශ නඩුකාරවරු අපේ උසාවිවලට පත්කරන්නේ නෑ කියලා. අපි මිශ්‍ර උසාවි ඇති කරන්නේ කියලා ප්‍රකාශ කළා.
පසුගිය ආණ්ඩුව නඩු දානවා කියලා ඒවා අපට සුද්ද කරන්න වෙලා තිබෙනවා. ව්‍යවස්ථාවේත් අධිකරණ බලය තියෙන්නේ මේ පාර්ලිමේන්තුවට. ඒ නිසා අපට බැහැ අලුත් අධිකරණ ඇති කරන්න. ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවොත් ජනමත විචාරණයකට යවන්න සිදු වේවි. මේ නිසා මම විරුද්ධ පක්ෂයෙන් අහනවා සරත් ෆොන්සේකාගෙන් සමාව ඉල්ලන්න කියලා. කවුද සුදුකොඩි නඩුව දැම්මේ? අපි නෙවෙයි " යනුවෙන්ද අගමැතිවරයා කියා සිටියේය.