රංගිරි දඹුලු රජමහා විහාරයට විදේශිකයන්ට ඇතුළු වීම ගාස්තුවලින් නිදහස් කිරීමට රංගිරි දඹුලු රජමහා විහාර භාරකාරිය තීරණය කළ බව සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහානායක රංගිරි දඹුලු රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නාහිමියෝ පවසති.
උන් වහන්සේ මේ පිළිබඳ විශේෂ නිවේදනයක්ද නිකුත් කර ඇත. එම නිවේදනය මෙසේය.
"රංගිරි දඹුලු රජමහා විහාරයේ සංවර්ධන කටයුතු උදෙසා විහාරයට ඇතුළු වන විදේශිකයන් සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ආරම්භ කළ ප්‍ර‘වේශ පත්‍රය පසුව දඹුල්ල රජමහා විහාර සංවර්ධන අරමුදල විසින් නිකුත් කරන ලදී. ඒ අනුව සංවර්ධන අරමුදල විසින් එකී ආදායම් භාවිතා කොට අප විසින් කළ නොහැකි පුරාවිද්‍යා සංරක්ෂණ කාර්යයන් හැර රංගිරි දඹුලු ලෙන් විහාරයේ අනෙකුත් භෞතික සියලු සංවර්ධන කටයුතු නිමකර විහාරස්ථානය අංගසම්පූර්ණ කර ඇත. එසේම රජයේ පූජා භූමි සංවර්ධන යෝජනා ක්‍රමයට දායක වෙමින් විහාර මළුව, ඖෂධ උද්‍යානය, ආදාහන මළුව, පන්සලේ වැව, රථ ගාල, වළාකුළු බැමි, පූජා භූමි සීමා මාර්ගය ආදී සංවර්ධන කටයුතුද රුපියල් මිලියන 2000 කට ආසන්න පිරිවැයක් මත නිමකර ඇත.
විහාරයේ සියලු සංවර්ධන කටයුතු නිමවී ඇති හෙයින්ද විහාර සංවර්ධන අරමුදල ශක්තිමත් බැවින්ද තවදුරටත් විදේශිකයන්ගෙන් මුදල් අයකිරීමක් අවශ්‍ය නොවේ. එබැවින් 2016 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි විදේශිකයන් සඳහා නිකුත් කළ ප්‍රවේශ පත්‍රය නවතා දමා ඇති බැවින් දේශීය, විදේශීය භේදයකින් තොරව නිදහසේ විහාරස්ථානයට කාහටත් ඇතුළු විය හැකිව ඇති බව මෙයින් නිවේදනය කරනු ලැබේ"