විදේශ ණය ගැනීමේදී පවා පසුගිය කාලේ විවිධ වංචා සහ දූෂණ වී ඇති බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඊයේ (24දා) කරස්නාගල පැවති මහජන හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"පහුගිය කාලේ සංවර්ධනය මුවාවෙන් පාරක් හැදුවත්, පන්සලක් හැදුවත්, බිල්ඩිමක් හැදුවත්, මේ සියලුම මුදල්වලින් කොටසක් එක එක්කෙනාගේ සාක්කු වලට ගියා. ඇත්තටම හොරකම කියන එක නීතිගත තත්වයකට පහුගිය ආණ්ඩුව පත් කරලා තියෙනවා.
අද අපි ඒ පිළිබඳ සොයා බලමින් ඉන්නවා. විශේෂයෙන්ම පහුගිය කාලේ අපි දැක්කා විදේශ ණය අරගෙන ලොකු ප්‍රශ්න මතුවුණා. ඒ වගේම තමයි දැනටම හෙළිදරව් වීගෙන යනවා කොටස් වෙළඳපොළේ ප්‍රශ්න ගැන. මේ සියල්ලම හරහා වෙච්ච විනාශය නවත්වන්න තමයි අපිට මේ රටේ මහජනතාව මේ වරම දිලා තියෙන්නේ." යනුවෙන්ද අමාත්යරවරයා පැවැසීය.