නව හැවිරිදි පාසල් දැරියක අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියකට වරදකරු වූ යාපනයේ විදුහල්පතිවරයෙකුට යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා ඊයේ (22) බරපතළ වැඩ සහිත දසවසරක සිරදඬුවම් නියම කළේය.
අදාළ සිරදඬුවමට අමතරව අගතියට පත් දැරියට රුපියල් දස ලක්ෂයක වන්දියක් සහ රුපියල් පන්දහසක දඩයක්ද නියම කළ අතර අධිකරණයට අදාල වන්දි මුදල සහ දඩ මුදල නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිත තවත් දෙවසරක සිරදඬුවමක් සහ මාසයක සිරදඬුවමක්ද යාපනය මහාධිකරණ විනිසුරු නියම කළේය.
යාපනය නාරන්තනෙයි ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ නව හැවිරිදි දැරියක් පාසලේ විදුහල්පතිවරයා විසින් 2009 නොවැම්බර් 1 වැනිදා සිට 2010 දෙසැම්බර් 26 තෙක් කාල සීමාව තුළ අවස්ථා කිහිපයකදීම අපයෝජනය කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධව කයිට්ස් දිසා අධිකරණයේදී සිදුවූ මූලික නඩු විභාගයේදී ඇප මත මුදාහැර තිබූ අතර පසුව නීතිපතිවරයාගේ උපදෙස් මත එම නඩුව යාපනය මහාධිකරණය මාරුකොට වසරක පමණ කාලයක් නඩුව විභාග වීමෙන් පසුව භෞතික හා විද්‍යානුකූලව සියලු සාක්ෂිවලින් විදුහල්පතිවරයා වරදකරු වන බවට ඔප්පුවීමෙන් පසුව අදාළ නඩුවේ තීන්දුව ලබාදෙමින් යාපනය මහාධිකරණ විනිසුරුවරයා සිරදඬුවම් නියම කළේය.