විදුලි රැහැන් හා ගොඩනැගිලි අතර පැවතිය යුතු අවම සිරස් හා තිරස් පරතර අනිවාර්ය කරමින් නව රෙගුලාසියක් නිකුත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් මෙම නව රෙගුලාසිය අනුමත කර තිබෙන බවත්,විදුලිබල ආරක්ෂාව පිළිබඳනව රෙගුලාසිය ක්‍රියාවට නැගීම සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහාය දක්වන බවත් එම කොමිෂන් සභාව සඳහන් කරයි.
සම්ප්‍රේෂණ හෝ බෙදාහැරීම් රැහැනේ වෝල්ටීයතාව අනුව තැබිය යුතු අවම පරතර විදුලිබල ආරක්ෂාව පිළිබඳ රෙගුලාසියෙහි 36 හා 37 වැනි නියෝග යටතේ දක්වා තිබෙන බවත්, විදුලිබල ආරක්ෂාව පිළිබඳ රෙගුලාසියෙහි 37 වැනි වගන්තිය අනුව අවම පරතරයට වඩා අඩු පරතරයක් සහිතව නව ගොඩනැගිලි ඉදිකිරීම නීති විරෝධී වන බවත්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කරයි.
රැහැනේ වෝල්ටීයතාව වොල්ට් 1000ට අඩු නම් එවැනි රැහැනක සිට ගොඩනැගිල්ලක් දකවා අවම පරතරය සිරස්ව මීටර 2.4ක් වියයුතු බවත්, අවම තිරස් දුර මීටර 1.5ක් වන බවත් පවසන එම කොමිෂන් සභාව, විදුලි රැහැනෙහි වෝල්ටීයතාව වැඩි අගයක් ගන්නා විට තැබිය යුතු අවම පරතරයද වැඩි අගයක් ගන්නා බවදසඳහන් කරයි.
ඉදිරියේදී නව ඉදිකිරීම් සදහා සංවර්ධන බලපත්‍ර පිරිනැමීමේදී විදුලි රැහැන් හා අදාළ ඉදිකිරීම් අතර නිසි පරතරය පිළිබඳ ප්‍රමිතිය සොයා බලන බවත්,මෙම ප්‍රමිතියට අනුකූලව සංවර්ධන බලපත්‍ර පිරිනැමීම සඳහා අදාළ පළාත් පාලන ආයතනවෙත උපදෙස් දෙන ලෙසටපළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සියලුම පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත දැනුම්දෙනු ඇති බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
මේ අනුව සංවර්ධන බලපත්‍ර සඳහා ඉදිරිපත්කෙරෙන අයදුම්පත්රවලට ගොඩනැගිලි හා විදුලි රැහැන් පිළිබඳ අවම පරතරයන් සනාථ කෙරෙන තොරතුරුද ඇතුළත් කරන බවත්, නව රෙගුලාසියට අනුව ඉදිකිරීම්වලදී අදාළ වන පරිදි ලංකා විදුලිබල මණ්ඩලයෙන් හෝ ලංකා විදුලි පෞද්ගලික සමාගමෙන් ආරක්ෂිත සහතිකයක් ලබාගත යුතු බවත් එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.