විදුලි ගාස්තු අඩුකිරීමට අදාළව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිර්දේශය නිකුත් කර තිබෙන අතර, ඒ අනුව සැප්තැම්බර් 16 වැනි දින සිට එම තීරණ ක්‍රියාත්මක වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව ජනාධිපතිවරයා ඉකුත්දා ප්‍රකාශ කළ පරිදි විදුලි ගාස්තු 25% කින් අඩුකර විදුලි බිල සැකසෙන බව මණ්ඩලය සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සෙනජිත් දිසානායක මහතා ප්‍රකාශ කළේ, මිල අඩු කිරීමේ වාසිය දැනට ගෘහස්ථ ඒකකවලට පමණක් බලපාන බවත්, ඉදිරියේදී ව්‍යාපාරික ස්ථානවලට මෙම වාසිය ලබාදීමට සාකච්ඡා කරගෙන යන බවත්ය. එසේම මීට පෙර අය කළ ඉන්ධන ගැළපුම් ගාස්තුවද මේ සමග ඉවත් කළ බව හෙතෙම පවසා සිටියේය.
ඒකක 60 දක්වා පරිභෝජනය කරන ගෘහස්ථ සඳහා ගාස්තු අය කරනුයේ පළමු ඒකක 30 සඳහා ඒකකයක් රුපියල් 2.50 බැගින් වන අතර, මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 30 කි.
එහිදී ඒකක 31 - 60 දක්වා ඒකකයකට රුපියල් 4.85 ක්ද මාසික ස්ථාවර ගාස්තුව ලෙස රුපියල් 60 ක්ද අයකරන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේය.ඒකක 60 ට වැඩියෙන් පරිභෝජනය කරන අවස්ථාවලදී ඒකක 0 සිට 60 දක්වා ඒකකයකට රුපියල් 7.85 ක් ලෙසද අය කෙරේ.
ඒකක 61 - 90 අතර විදුලි පරිභෝජනයකදී ඒකකයක මිල රුපියල් 10 ක් වන අතර, මාසික ස්ථාවර ගාස්තුව ලෙස රුපියල් 90 ක් අය කෙරෙන බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.
මීට අමතරව ඒකක 91 - 120 අතර පාරිභෝජනයේදී ඒකකයකට රුපියල් 27.75 ක් ලෙස අයකරන අතර, එහිදී මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 480 කි. ඒකක 121 -180 අතර පරිභෝජනයකදී මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 480 කි. එහිදී ඒකකයක් සඳහා රුපියල් 32 ක් අය කෙරේ. ඒකක 180 ට වැඩි සෑම පාරිභෝජනයකදීම ඒකකයක මිල රුපියල් 45 ක් වන අතර, මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 540 ක් බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේය.