මෛත්‍රී සමග එකතු වන්න
''යූ.එන්.පී. යෙන් එළවනවා නම් ඒකාබද්ධයේ ලණු කන්නේ නැතිව මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වන ලෙස ඇමති විජේදාස රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා.'' යැයි මහා මාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
හාලිඇල කුඩුමහවෙල ගම්මානයේදී ඊයේ (13දා) පැවැති පාක්ෂික හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
''ඊයේ පෙරේදා ඉඳල මාධ්‍යවල ලස්සන කතා පළ වෙනවා. විජේදාස රාජපක්ෂ මහත්තයා හිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. වර්තමාන කෝප් කමිටුවට ඉස්සෙල්ලා තිබුණ කෝප් කමිටුවේ සභාපතිවරයාත් ඔහුයි. එතකොට මාත් එහි සාමාජිකයෙක්. එතුමා හොරෙක් නොවෙයි.
කෙලින් කතා කරන පුද්ගලයෙක්. එතුමා හා අපි එකතුවෙලා කෝප් කමිටුවෙන් හොරු ගැන වංචාකාරීන් ගැන විශාල හෙළිදරව් කීපයක් කළා. එනිසාම ඔහුට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවෙන් යන්න සිදු වුණා. එතුමා එළියට ගියාට පස්සේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ තිබූ රැස්වීමකදී ඔහුව පට්ට ගැහුවා. අද ඔය ඒකාබද්ධ විපක්ෂයේ ඉඳගෙන එතුමාට එන්න කියලා ආරාධනය කරන අයයි එසේ කෙරුවේ.
විජේදාස රාජපක්ෂ මහත්තය අනික් පැත්තයට ගියාට පසුවත් මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදිරිපිට විජේදාස රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් පෙනී සිටියේ මම විතරයි.
විජේදාස රාජපක්ෂ මහත්තයාගේ ඉහේ ඉඳල පහළට පට්ට ගහපු අය ඊයෙ පෙරේදා විජේදාස රාජපක්ෂ මහත්තයට කියනවා අපේ පැත්තට එන්න කියලා.
ඒ නිසා මම විජේදාස රාජපක්ෂ මහත්තයට කියන්නේ ගම්මන්පිලලා පිනුම් පිට පිනුම් ගැහුවත් ඔවුන්ගේ ලණු කන්න එපා කියලයි. ඔබතුමා යූ.එන්.පී.යෙන් එළවනවා නම් මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා. ඔහු උගතෙක් නිසා ඒ බව මනාව තේරුම් ගනීවි යැයි මම විශ්වාස කරනවා.'' යැයිද පවසා සිටියේය.
ඒකාබද්ධයට එන්න
අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට තවදුරටත් ආණ්ඩුව තුළ ස්වාධීනව කටයුතු කිරීමේ පරිසරයක් නොමැති බැවින් ඒකාබද්ධ විපක්ෂය සමග එකතු වී ගමනක් යෑමට පැමිණෙන ලෙස ඒ මහතාට ආරාධනා කර සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය.
විජේදාස රාජපක්ෂ මහතා බේරා ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවත්, ආණ්ඩුවේ රැඳී සිටීමෙන් ඔහුට අවංකව සේවය කිරීමට නොහැකි තත්ත්වයක් තිබෙන බැවින් ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. විජේදාස රාජපක්ෂ මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් එයට සහාය පළනොකරන බවත්, එවැනි ඡන්ද විමසීමකදී අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින බවත් ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.
වත්මන් රජය බෞද්ධයාට විරුද්ධව කටයුතු කළ සෑම තැනකදීම බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් වත්මන් ආණ්ඩුව තුළ අල්ප මාත්‍රයක හෝ කාර්යයක් ඉටුකරනු ලැබුවේ විජේදාස රාජපක්ෂ මහතා බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බෞද්ධ භික්ෂූන් වහන්සේලාට විරුද්ධව අණපනත් ගෙන ආ අවස්ථාවේදී ඒවා නැවැත්වීමට විජේදාස රාජපක්ෂ මහතා කටයුතු කළ බවත්, පෙරහර ඇතුළු සංස්කෘතිකාංග සම්බන්ධ ප්රශ්නවලදී ඇමතිවරයා මැදිහත් වූ අතර, පුරාවිද්‍යාත්මක වශයෙන් අහිකර අණපනත්වලට විරුද්ධව අදහස් පළකළ බවත් හෙතෙම පවසා සිටියේය.
මේ අවස්ථාවේදී ආණ්ඩුවේ බෞද්ධ විරෝධී වැඩපිළිවෙළට යම් පමණකින් හෝ පෙනී සිටින එකම අමාත්‍යවරයා විජේදාස අමාත්‍යවරයා බවත්, ඔහු වැනි අයෙකු බිල්ලට දී බලා සිටිය නොහැකි බවත් සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
අමිත් මධුරංග / බදුල්ලේ - පාලිත ආරියවංශ