විකිරණ තාක්ෂණවේදීන්ට සහ එම සේවාවට ඇති වී තිබෙන ගැටලු විසඳීමට කටයුතු නොකිරීම හේතුවෙන් හෙට (15දා) සිට වාට්ටු තුළට ගොස් සිදුකරන සියලුම කටයුතු නවතා දමන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම ගැටලුවලට අමතරව කොළඹ ජාතික රෝහල තුළ ඇති වී තිබෙන වෙනත් ගැටලු 03ක් මුල්කරගනිමින් හෙට එම රෝහල තුළ පැය 04ක වැඩ වර්ජනයක් සිදු කරන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේය.
මෙම ක්‍රියාමාර්ගවලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී තමන් සේවා කටයුතුවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සැලසුම් කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
පොදුවේ ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා පසුගිය 07 වැනිදා එක්දින වැඩවර්ජනයක් සිදුකළ බවත්, එහෙත් එම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර ලැබී නොමැති බවත් හෙතෙම කියා සිටියේය.
පවතින පුරප්පාඩු සම්පූර්ණ නොකිරීමට අමතරව දීමනා විධිමත් ලෙස ලබා නොදීම, අවධිමත් ලෙස සිදුවන ස්ථාන මාරු ක්‍රමවේදය නිවැරදි නොකිරීම යන ප්‍රධාන ඉල්ලීම් මුල් කරගනිමින් වාට්ටු තුළට ගොස් සිදුකරන පරීක්ෂණ කටයුතු නවතා දමන බවද ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේය.
මීට අමතරව විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ක්‍රියාත්මක කරන O-AM යන්ත්‍ර පුහුණුව සඳහා හෙද නිලධාරීන් තෝරාගැනීම, අපස්මාර ඒකකයේ ස්නායු ශල්‍යාගාරයේ යන්ත්‍ර පුහුණුවට තෝරාගැනීම පිළිබඳ ඇති වී තිබෙන ගැටලුව හා විකිරණ නිලධාරීන්ගේ රාජකාරි කටයුතු භෞතිකඥවරුන් වෙත පැවරීම යන ගැටලු මුල්කරගනිමින් ජාතික රෝහල තුළ පැය 04ක වැඩ වර්ජනයක් සිදු කරන බවද හෙතෙම පවසා සිටියේය.