වැරදි කරන වැඩ නොකරන මන්ත්‍රීවරුන් ඇමතිවරුන් ඉවත් කළ යුතුයි
රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට නොහැකි ඇමතිවරුන් ඉවත් කිරීමට වැඩපිළිවෙළක් තිබිය යුතු බව ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ, පසුගියදා (20දා) අම්බලන්තොට, ඇත්බටුව 'වැවක් සමග ගමක්' ග්‍රාමීය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමේ වැඩසටහන වෙනුවෙන් පැවැති උත්සව සභාව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
''වැරැද්දක් කරනවා නම් කවුරුහරි මන්ත්‍රීවරයෙක් ඉවත් කරන්නත් ඕන. මේ රටේ එහෙම දේවල් වෙනවා අඩුයි. මේ රටේ ජනතාවගේ දේවල් වංචා කරනවා නම්, හොරකම් කරනවා නම් ඒ අය ඉවත් කරන්නත් ඕන. එතකොට තමයි රටක් හරියන්නෙ. කවුරුහරි කියනවා නම් මේවා වෙනස් කරන්න බෑ, මේවා අපේ අයිතිවාසිකම්, උරුමකම් කියලා එහෙම වැරදියි. අපි අසාර්ථක නම්, අපි දුර්වල නම්, ඒ ගැන විමර්ශනයක් කරලා ඉවත් කරන එකේ ප්‍රශ්නයක් නැහැ. මට හිතෙනවා මම මේ අමාත්‍යාංශයේ ආයතන සියල්ලම අද ලාභදායී මට්ටමට ගෙනැල්ලා.
මට අමාත්‍යාංශය මොකක් වුණත් කමක් නැහැ වැඩ කරන්න පුළුවන්. අපි අමාත්‍යාංශවල වැඩ කරලා තියෙනවා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ කියලා එකක් තිබුණද කියලා දන්නෙවත් නෑ මම ඒකෙ වැඩකරන්න එනතෙක්. ගෙවල් දහස් ගාණක් හැදුවා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන්. වැව් හැදුවා, ඇළවල් හැදුවා, පාරවල් හැදුවා, ජල යෝජනා ක්‍රම හැදුවා, පාලං හැදුවා.
වැඩකාරයට ඕන එකක වැඩ කරන්න පුළුවන්. වැඩ බැරි කෙනාට මොන අමාත්‍යාංශය දුන්නත් වැඩ කරගන්න බැහැ. සල්ලි ටික ආපස්සට එනවා. මම ඒ යුතුකම් හරියට කරලා තියෙනවා. අවුරුදු හතළිස් ගණනක් පාඩු ලබපු ධීවර සංස්ථාව අද ලාබ ලබනවා. මේක විශ්මකර්ම වැඩක්ද?, මේක ප්රාතිහාර්යයක්ද? නෑ අවංකව කටයුතු කිරීම. කැපවීමෙන් කටයුතු කිරීම නිසා ඒ තත්ත්වෙ ගෙනාවා.
අපට ජී.එස්.පී. තහනම ඉවත් වුණා. මම ඒ පිළිබඳව ලොකු ආඩම්බරයකින් ඉන්නෙ. මේ ආණ්ඩුවට මම ගියේ නැත්නම් අද මේක නෑ නේද කියලා මට හිතෙනවා. මම මේ ජාතික ආණ්ඩුවේ හිටි නිසා තමයි මේක ලැබුණේ කියන සතුට මේ ගැන පණිවුඩය ආපු දවසෙම ලැබුණා.
මේ ජාතික ආණ්ඩුව හැදූ නිසා, මේ ජනාධිපතිතුමා ලෝකෙ විශ්වාසය දිනාගත්තු නිසා තමයි අපට මුලින්ම යුරෝපා මත්ස්‍ය තහනම අයින් කරගන්න පුළුවන් වුණේ. ඒ වගේම මේ ගෙන ගිය වැඩපිළිවෙළ නිසා තමයි ජී.එස්.පී. සහනය ලබාගන්න පුළුවන්කම ලැබුණෙ. හෙට ඉඳලා අපි යවන මාළුවලට අපට මේ රටට 18% -22%ත් අතර වාසියක් ලැබෙනවා. ඒක මේ රටට ලැබෙන්නෙ.'' යැයි පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

