කොළඹ 12 සහල් තොග වෙළෙඳසැල් පරීක්ෂා කළ අවස්ථාවකදී රුපියල් ලක්ෂ 10ට වඩා වැඩි වටිනාකමකින් යුතු (රුපියල් 1,017,250 ) කල් ඉකුත්වූ කීරි සම්බා කිලෝග්රෑම් 7825 ක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසීය.
වැටලීම සිදුකරන අවස්ථාවේදී කිලෝග්රෑම් 25 බැගින්වූ මලු 313 ක් තොග වෙළෙඳසැලේ තිබූ බවත්, එම මලු ගලවා කිලෝග්රෑම් 10 හා 5 බැගින් වූ කුඩා මලුවලට සහල් පුරවමින් සිටියදී, විශාල මලු 30ක කවර අත්අඩංගුවට ගත් බවත් ඒ මහතා සඳහන් කළේය.
පුරවන ලද කුඩා මලු මැසීමට භාවිතා කරන බෑග් මහන යන්ත්රයක්ද එම ස්ථානයේ තිබී අත්අඩංගුවට ගත් බවත්, ලබන 14 වැනිදා මේ සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් සභාපතිවරයා ප්රකාශ කළේය.