ඇවන්ට් ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ සේවය කළ කපිල රත්නායක යන අයෙකුට විරුද්ධව සරත් ෆොන්සේකා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවට අද (08දා) පැමිණිලි කළේය.
පැමිණිල්ල සිදුකිරීම සඳහා ඒ මහතාට පැය හතරකට ආසන්න කාලයක් ගතවීම විශේෂ සිද්ධියක් විය.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා,
"ඇවන්ට් ගාඩ් සමාගමෙන් මුදල් අරගෙන කියලා මගේ චරිතය ඝාතනය කරන්න මේ අය උත්සහ කරනවා. ඒ නිසා ඒ පුද්ගලයන්ට විරුද්ධව ක්‍රියාකරන්න කියා ඇවන්ට් ගාඩ් සභාපතිට සහ මගේ නම විකුණලා ප්රතිලාභ ලාබගත්ත අයට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලි කළා. අපේ අත්වල කළු සල්ලි ලේ පැල්ලම් නැහැ.
මේ අය මට කරලා තියෙන්නේ විශාල චරිත ඝාතනයක්. කපිල රත්නායක ඇවන්ට් ගාඩ් සභාපතිගේ වාහනයක් පාවිච්චි කළා වෙන්න පුළුවන්. නමුත් මට එහෙම ඇවන්ට් ගාඩ් වාහන පාවිච්චි කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. ඇවන්ට් ගාඩ් වාහන හිඟාකෑමේ අවශ්‍යතාවක් මට තිබුණෙ නැහැ. අද අල්ලස් කොමිසමේ නිලධාරීන් මගේ පැමිණිල්ල සම්පූර්ණයෙන්ම පරිගණකවල සටහන් කළා. ඒක දිග වාර්තාවක්. පැහැදිලිව කරුණු කාරණා නීත්‍යනුකූලව සටහන් කරන්න ගිය නිසා ටිකක් වෙලා ගියා." යැයි පැවසීය.
ඡායාරූප ශමීර රාජපක්ෂ